ජාතික උද්‍යාන ගැටලු විසඳීමට විශේෂ කමිටුවක්

0
ජාතික උද්‍යාන ගැටලු විසඳීමට විශේෂ කමිටුවක්

ජාතික උද්‍යාන ගැටලු විසඳීමට විශේෂ කමිටුවක්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ජාතික වනෝද්‍යාන වන යාල, කවුඩුල්ල, මින්නේරිය, උඩවලව, විල්පත්තු සහ හුරුළු වනෝද්‍යාන තුළ පවතින ගැටලු කඩිනමින් විසඳීම සඳහා පරිසර අමාත්‍යතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් විශේෂ උපදේශන කමිටුවක් පත් කිරීමේ මූලික සාකච්ඡා අඟහරුවාදා (12) දින පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවේ දී ජාතික වනෝද්‍යාන තුළ පවතින මූලික ගැටලු සාකච්ඡා වූ අතර එහි දී ජෛව විවිධත්වය සංරක්ෂණය මූලික කරගනිමින් වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ තදබදය අවම කර පහසු නැරඹීමක් ලබා දීම සඳහා Online හරහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම මෙන්ම සංචාරකයන්ගේ ප්‍රමාණාත්මක ධාරිතාව පිළිබඳ සලකා බලා ආසන්නතම උද්‍යානවලට යොමු කරවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

එමෙන්ම උද්‍යාන තුළ පවතින ජල පෝෂක ප්‍රදේශ ලෙස හඳුන්ගන්නා වනජීවීන්ට ආහාර ජලය සපයන වැව් අමුණු ප්‍රදේශ වැඩිදියුණු කිරීම සඳහා ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් වනජීවී කලාප භාර සහකාර අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීම සඳහා ජාතික වනෝද්‍යාන තුළ පවතින ගැටලු විසඳීමේ අරමුණෙන් පරිසර අමාත්‍යංශය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ඒ ඒ වනෝද්‍යාන නියෝජනය කරමින් නිළධාරීන්ගෙන් සමන්විතව කමිටුව පත් කිරීමට මෙහිදී යෝජනා වූ අතර ඉදිරි දින කිහිපය තුළදී කමිටුවේ නිර්දේශ සහ නිගමන පදනම්ව වනෝද්‍යාන තුළ පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කෙරේ.

පරිසර අමාත්‍යංශය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ඍජු සම්බන්ධීකරණය තුළින් බිම් මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, වනෝද්‍යානවල ගැටලු විසඳීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් වන බැවින් මෙම කමිටුවේ නිරීක්ෂණ පිළිබඳ පරිසර අමාත්‍යවරුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවත් ඒ සඳහා විසඳුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම සාකච්ඡාව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමා වෙනුවට අතිරේක ලේකම් ඩබ්.ඩී.එස්.සී.වැලිවත්ත මහතා ද, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ඇතුළු වනජීවී කලාප නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂවරු, ජාතික වනෝද්‍යාන පාලකවරු සහ පරිසර අමාත්‍යංශයේ නිළධාරීන් සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com