ආධාර ට්‍රක් රථ පෙරළී පලස්තීනුවෝ 20ක් මරුට
ආධාර ට්‍රක් රථ පෙරළී පලස්තීනුවෝ 20ක් මරුට
මානුෂීය ආධාර රැගෙන ගාසා තීරයට පැමිණි ට්‍රක් රථ 4ක් පෙරළී යෑමෙන් ආහාර මලු ලබාගැනීමට එක්රොක්වී සිටි පලස්තීනුවන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය බදාදා (06) පස්වරුවේ මේ ඛේදජනක අනතුර සිදුවී ඇත්තේ පලස්තීනුවන් විශාල පිරිසක් ට්‍රක් රථ මතට නැඟීමෙන් රියැදුරන්ට සිය රථ පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පෙරළී ගිය ට්‍රක් රථවලට යටවී සිටි පලස්තීනුවන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතින මධ්‍යම ගාසා තීරයේ ඩෙයිර් අල් බලාහ් නගරයේදී අනතුරට ලක්වූ එම ආධාර ට්‍රක් රථ පෞද්ගලික ප්‍රවාහන සමාගමකට අයත් බවත්, එවැනි ට්‍රක් රථ 26ක් ආධාර රැගෙන මධ්‍යම ගාසා තීරයට පැමිණි බවත් වාර්තා වේ. පෙරළී ගිය ට්‍රක් රථවලට අමතරව තවත් රථ 6ක් කොල්ලකෑමට ලක්වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මාස ගණනාවක් පුරා ප්‍රමාණවත් ආහාර නොලැබීමෙන් ගාසා තීරයේ ජනතාව උග්‍ර ආහාර හිඟයකට මුහුණ පා සිටින බවත්, මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ආධාර ට්‍රක් රථ වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට යොමු කළ යුතු බවත් මානව හිමිකම් සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.






