ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු 1000ක්

0
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු 1000ක්

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු 1000ක්

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කාන්තාවෝ 1000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. කොටස් දෙකක් වශයෙන් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

මෙසේ බඳවා ගැනීමට නියමිතව ඇත්තේ කාන්තා කොස්තාපල් තනතුරටය. ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කිරීමට නියමිත බවද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ශ්‍රී ලංකා පොලීසියේ අනුමත කාන්තා නිලධාරීන් ගණන 10,000කි. එහෙත් දැනට සේවයේ නිරතව සිටින්නේ 8,000ක් පමණ වූ නිලධාරිනියන් පිරිසකි. ඒ අනුව 2,000ක පමණ පුරප්පාඩුවක් ඇති බව පොලිස් පිරිස් පාලන අංශයේ තොරතුරු සඳහන් කළේය.

කාන්තා නිලධාරිනියන්ට පොලිස්පති ධුරය දක්වා ගමන් කිරීමට මේ වනවිට අවස්ථා ඇත. කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියකට පුරප්පාඩුවක්ද පවතී. එහෙත් එම තනතුරට සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරිනියන් මෙතෙක් නොමැති බැවින් එම ධුරය ඇත්තේ පුරප්පාඩුවක් ලෙසිනි.

ශ්‍රී ලංකා පොලීසියේ මේ වනවිට නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිවු දෙනෙක්ද, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 13 දෙනෙක්ද, කාන්තා පොලිස් අධිකාරීවරියන් 06 දෙ‍ෙනක්ද, කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 16 දෙ‍ෙනක්ද සේවයේ නිරතව සිටිති.

මෙම නිලධාරිනියන්ගෙන් වැඩි දෙනෙක් 1975ත් 1980ත් අතර වකවනුවේ උපන් අයයි. මෙම නිලධාරිනියන් අතර සිටින එක් නිලධාරිනියක් හැරුණු කොට සෙසු සෑම නිලධාරිනියක්ම 2040 වනවිට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් අවසන් වනු ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරීමට මෙන්ම පොලිස්පතිවරයෙක් වීමේ අවස්ථාවක් පවා ඇත්තේ ඒ 1981 වසරේ උපන් එම නිලධාරිනියට පමණි.

ඇය මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙස සේවයේ නිරතව සිටින්නීය. ඇය ඉමේෂා මුතුමාලය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු කාන්තා අධ්‍යක්ෂවරිය ලෙස වාර්තා අතරට එක්වූ ඇය මේ වනවිට පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව ලෙස සේවයේ නිරතව සිටින්නීය.

ඇය ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වන්නේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙසිනි. ඇය සමඟ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස තවත් නිලධාරිනියන් දෙදෙනෙක් එක්ව වූවාය. මදාරා අරියසේන සහ ලංකා රාජිනී නමැති එම නිලධාරිනියන්ද මේ වනවිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස සේවයේ නිරතව සිටින්නීය.

ඔවුන් සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස පොලිස් සේවයට එක්වන්නේ 2007 වසරේ නොවැම්බර් 03 වෙනිදාය. ඒ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරිනියන් සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස බඳවාගත් පළමු අවස්ථාව ලෙස වාර්තාගත වෙමිනි. මෙම නිලධාරිනියන් සමඟ සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පිරිමි නිලධාරීන් 14 දෙනෙක්ද බඳවා ගෙන තිබිණි.

එම බඳවා ගැනීමෙන් පසු මෙතෙක් ගෙවීගිය වසර 18ක කාලය තුළ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් බඳවාගෙන නොමැත. එහෙත් අවස්ථා ගණනාවකදීම පිරිමි නිලධාරින් ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස බඳවාගෙන තිබේ. පොලිස්පති ධුරය දක්වා ඉහළට යෑමට ඉතිහාසය පුරාම අවස්ථාවක් ලැබී ඇත්තේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරීන්ටය.

පිරිමි නිලධාරීන් වැඩි වශයෙන් ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස බඳවා ගැනීම සහ ආධුනික කාන්තා නිලධාරිනියන් බඳවා නොගැනීම හේතුවෙන් වසර 2041න් පසු කාන්තා නිලධාරීනියන්ට ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් අධිකාරීවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියක් වීමද අහිමි වනු ඇති බව කාන්තා නිලධාරිනියන් පෙන්වා දෙන්නීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com