කුසගින්න යුද අවියක් කර ගන්න එපා – එක්සත් ජාතීන්ගේ මහලේකම්

කුසගින්න යුද අවියක් කර ගන්න එපා – එක්සත් ජාතීන්ගේ මහලේකම්
යුද ගැටුම් අඛණ්ඩව පැවතීම සිවිල් වැසියන්ගේ කුසගින්නද තවදුරටත් පවත්වන්නක් බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.
එබැවින් කුසගින්න, යුද්ධයේ අවියක් ලෙස කිසිවිටෙකත් පිළි නොගන්නා ලෙස ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ඉතියෝපියාවේ Addis Ababa අගනුවර පැවති එක්සත් ජාතීන්ගේ දෙවන ආහාර පද්ධති සමුළුව වීඩියෝ පණිවිඩයක් ඔස්සේ අමතමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.
මානව හිමිකම් ආරක්ෂා කිරීම, තිරසාර බව, සාධාරණත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව යනාදිය මූලික කරගත් ගෝලීය ආහාර පද්ධති යාන්ත්‍රණය තුළ මීට පෙර එකඟ වූ කැපවීම්, සාක්ෂාත් කර ගැනීමේ දී මේ වනවිට ප්‍රගතියක් නොපෙන්වීම පිළිබඳව ගුටරෙස් මෙහිදී සිය කණස්සල්ල පළ කර තිබේ.
ගෝලීය කුසගින්න ඉහළ යාමත්, වෙළඳපළ ගැටුමෙන් ඇතිවූ අධික ආහාර මිල ගණන් හේතුවෙන් ජනතාව ඉතා අසරණ වීමත්, ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගත නොහැකි පසුබිමක තවත් පසෙකින් ලෝකයේ ආහාර වලින් තුනෙන් එකක් අහිමි වීම හෝ නාස්ති වීමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව ඔහු පැවසීය.
එමෙන්ම සෞඛ්‍ය අර්බුද, ස්වභාවික ආපදා සහ මිනිසුන්ගේ විවිධ ඛේදනීය තත්ත්වයන් හමුවේ ගෝලීය ආහාර පද්ධතියේ සැඟවුණු පිරිවැය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවන බවද ගුටරෙස් මහතා පෙන්වා දී ඇත.
එය අප්‍රිකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.
කෙසේවෙතත් මෙම සංසිද්ධිය යුක්තිය, සාධාරණත්වය සහ දේශගුණය පිළිබඳ අර්බුදයක් මිස, හුදෙක් හිඟකමෙහි අර්බුදයක් නොවන බවත් අන්තෝනියෝ ගුටරෙස් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.