2025 පළමු මාස 6ට අපනයන ආදායම ඩො.බි 8.3 ඉක්මවයි

2025 පළමු මාස 6ට අපනයන ආදායම ඩො.බි 8.3 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86කට ළඟා වී ඇති බවත්, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34කට ළඟා විය. මෙය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
2025 ජූනි මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73කට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රේගුව සහ විද්‍යුත් භාණ්ඩ සඳහා ඇස්තමේන්තු දත්ත අනුව පෙන්නුම් කරයි.
2025 ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව සඳහා වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 6,504.72ක් විය, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 5.86%ක වර්ධනයකි.
2025 ජූනි මාසයේදී සේවා අපනයනවලින් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 309.61ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 16.38 %ක වර්ධනයකි.
වර්ෂයේ පළමු මාස හය තුළ සේවා අපනයන 9.78%කින් වර්ධනය වී අති අතර ඇමරිකානු ඩොලර් මිලියන 1,833.14ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහනය සහ සැපයුම් යන අංශවලින් සමන්විත සේවා අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් සහිත රැකියා අවස්ථා නිර්මාණය කරමින් සිටියි.