“වනස්පති” යටතේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

0
“වනස්පති” යටතේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කරයි

“වනස්පති” යටතේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කරයි

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ “වනස්පති” – ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

නව රජයේ පරිසර ප්‍රතිපත්තියේ කරුණු ඉටු කරමින්ද පරිසර අමාත්‍යංශයේ අරමුණු සහ පැරිස් සම්මුතියට දක්වන එකඟතාවක් ලෙසද ජල මූලාශ්‍ර, සතුන් සහ ශාක ආරක්ෂා කරන වනාන්තර, රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන වනස්පති නමින් හෙට දින (15) ආරම්භ වේ. පැරිස් සම්මුතියට ශ්‍රී ලංකාව දක්වන එකඟතාවක් ලෙස 2030 වසර වන විට ලංකාවේ වන ආවරණය 32 % දක්වා වර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතී. නව රජයේ පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ ඉදිරි පියවරක් ලෙසද ජගත් පරිසර දින ආරම්භ වූ පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලියේ දිගුවක් ලෙසද වනස්පති ජාතික වැඩසටහන දීර්ඝ කාලීනව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය.

ඒ අනුව මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් වනු ඇත. මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල අඩවියේ ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තරත් – සියඹලාණ්ඩුව අඩවියේ අඹත්තාහෙල රජයේ වනාන්තරයත්, වැල්ලවාය අඩවියේ කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තරත් (15) සිට නව රක්ෂිත ලෙස ගැසට් කරනු ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව අඩවියේ පාලකුඩා කඩොලාන වනාන්තරය, අම්පාර අඩවියේ කරංගාව රජයේ වනාන්තරය, මහඔය අඩවියේ බදුලුගොඩ රජයේ වනාන්තරය සහ ලාහුගල අඩවියේ පානම උතුර රජයේ වනාන්තරද හෙට දින(15) සිට රක්ෂිත ලෙස ගැසට් කිරීමට නියමිත අතර මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අඩවියේ රිලාගල සහ රජගල රජයේ වනාන්තරද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට පත් වනු ඇත.

පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හෙට (15) දින උදෑසන 9.30ට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ, විදේශ තානාපතිවරුන්ගේ සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී “වනස්පති” ජාතික වැඩසටහන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com