ජාතික පර්යේෂණ ප්‍රමුඛතා හඳුනා ගැනීමට නව කමිටුවක්

ජාතික පර්යේෂණ ප්‍රමුඛතා හඳුනා ගැනීමට නව කමිටුවක්
ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතා ලබා දීම සඳහා තාවකාලික කමිටුවක් පසුගිය 07 වැනිදා පිහිටුවන ලදී.
මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ, ජාතික සංවර්ධන ඉලක්ක හා ජාතික අවශ්‍යතා පදනම් කරගෙන රට තුළ ක්‍රියාත්මක වන විවිධ පර්යේෂණ, ඒවායේ ප්‍රමුඛතාව අනුව වර්ගීකරණය කිරීමයි.
මෙම කමිටුවේ සම සභාපතිත්වය විද්‍යා සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ (NASTEC) සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා විසින් දරනු ලබන අතර, විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ විශේෂඥයෝ 20 දෙනෙක් එහි සමාජිකයෝ වෙති.
මෙම කමිටුවේ අනෙකුත් ප්‍රධාන කාර්ය වන්නේ විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, කර්මාන්ත සහ රජයේ ආයතනවල ක්‍රියාත්මක වන පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති ජාතික සංවර්ධන ඉලක්ක හා සමපාත කර ගැනීම සහ ජාතික අයවැයෙන් පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සඳහා වෙන් කෙරෙන මුදල් කාර්යක්ෂම ලෙස උපයෝගී කර ගැනීම සඳහා පර්යේෂණ ප්‍රමුඛතාව මත මුදල් වෙන් කිරීම දිරිගැන්වීමයි.
ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය දීර්ඝකාලයක් තිස්සේ හුදකලා වූ, වෙන් වෙන් වශයෙන් පවතින විසිරුණු පද්ධතියක් ලෙස ක්‍රියාත්මක විය. එබැවින්, බොහෝ විට මෙරට ආර්ථිකයෙහි ප්‍රසාරණයට හෝ සමාජයේ අභිවෘද්ධියට සැලකිය යුතු බලපෑමක් කිරීමට එය අපොහොසත් විය. මෙම කමිටුව පිහිටුවීමෙන්, පාර්ශ්වකරුවන් මගින් ආයතනික වාර්තා සහ ජාතික තලයේ සමීක්ෂණ හරහා බිම් මට්ටමේ සිට අමාත්‍යාංශ මට්ටම දක්වා දත්ත එක්රැස් කරමින්, වඩාත් කාර්යක්ෂම, උපායමාර්ගික සහ සමාජ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමට රජය බලාපොරොත්තු වේ. එසේම, දත්ත මත පදනම්ව තීරණ ගැනීම සහ මූල්‍ය වගවීම, පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත කිරීම මෙහි තවත් අරමුණකි.