උතුරේ චෙම්මනි සමූහ සුසානය : මිනිස් ඇටසැකිලි 56ක් ගොඩගනියි

උතුරේ චෙම්මනි සමූහ සුසානය : මිනිස් ඇටසැකිලි 56ක් ගොඩගනියි
යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානයේ දැනට හමු වී ඇති මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව රටේ හතරවැනි තැනට පැමිණ ඇති අතර 2025 වසරේ මැයි මස මැද සිට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් මේ දක්වා කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි 56ක් මතුකරගෙන ඇත.
මීට ඉහත සිව්වැනියට විශාල සමූහ මිනීවල ලෙස හඳුනාගෙන තිබුනේ සිරුරු 52ක් ගොඩගන්නා ලද මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි සමූහ මිනීවලයි.
අපරාධ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන චෙම්මනි සමුහ සුසානයෙන් මතු කරගත් මිනිස් ඇට සැකිලි 56 අතුරින් ඇටසැකිලි 50ක් තෙවැනි අදියරේ කැනීම් කටයුතු 13වැනි දිනයත් සිදු කළ ජුලි 08 වැනිදා වන විට ගොඩ ගෙන ඇත.
මේ වන විට සමුහ සුසානයේ ස්ථාන තුනකින් මිනිස් අස්ථි කොටස් මතුව ඇති අතර මිනිස් අස්ථි තව දුරටත් පසට යටවී ඇති ස්ථාන වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් හඳුනාගෙන අධිකරණයට වාර්තා කිරීමෙන් පසු ජුනි 02 බදාදා භුමියේ දෙවැනි ස්ථානයේ කැනීම් ආරම්භ කර තිබුනි. එය නම් කර ඇත්තේ වෝහාරික කැනීම් භුමිය 2 ලෙසිනි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා පවසන්නේ එම ස්ථානයෙන් මතු කරගෙන ඇති මිනිස් ඇටසැකිලි ගණන තුනක් බවයි.
“වෝහාරික කැනීම් භුමිය 2 කොටසේ හඳුනාගත් අස්ථි කොටස් 3 තවමත් කැණීම් කර නැහැ. එය හෙට කැණීම් සඳහා ලකුණු කරනවා. ඊට පස්සේ කැනීම් සිදු කරනවා.”
කැනීම් කටයුතු ආරම්භ කළ මුල්ම ස්ථානය වෝහාරික කැනීම් භුමිය 1 ලෙසත්, ඉදිරියේ ඇති වන වැසි තත්වයට මුහුණ දීම සඳහා අගලක් කැපීමේ දී මිනිස් අවශේෂ හමුවු ස්ථානය වොහාරික කැනීම් භුමිය 3 ලෙසත් නම් කර ඇති බවයි වෝහාරික මානව විද්‍යාව සහ වෝහාරික පුරාවිද්‍යාවට අදාළ විශේෂ පුහුණුවක් ලබා සිටින රනිතා ඥානරාජා ජුලි 08 වැනිදා යාපනයේ මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් කියා සිටියි.
මීටර 11ක් පළලින් හා දිගින් යුත් පළමු වෝහාරික කැනීම් භූමියට මීටර 20ක් දුරින් අලුතින් අගල කපා ඇති බව පැවසූ මානව හිමිකම් නීතිඥ කේ එස් රත්නවේල් වල අසලදී මාධ්‍යවේදීන්ට කියා සිටියේ චෙම්මනි සමූහ සුසානයේ සුවිශාලත්වය පිළිබඳව එමගින් අදහසක් ඇතිකරගත හැකි බවයි.
මේ වන තෙක් ගොඩ ගන්නා ලද සිරුරු වලට අමතරව රෙදිපිළි, සපත්තු දෙකක්, කුඩා දරුවකුගේ බවට සැකකෙරෙන වළලු දෙකක් සහ බෝනික්කකු ඇතුළු මෙවලම්ද අධිකරනයේ නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන්ගේ අධික්ෂනය යටතේ යාපනය රෝහලේ ගබඩා කර ඇත.
ශ්‍රී ලංකාවෙන් හමු වු අලුත්ම සමූහ සුසානයේ කැනීම් ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකුලව හා අපක්ෂපාති විය යුතු බවට වින්දිතයන් දිගින් දිගටම කරන ඉල්ලීමට එක්සත් ජාතීන්ගේ අනුමැතියද පසුගියදා පලවී තිබුනි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් යාපනයේ චෙම්මනි, සිත්තුපාත්ති සමුහ සුසානය අසල දී ජුනි 25 වැනිදා ප්‍රකාශ කර තිබුනේ සමුහ මිනි වල සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීමට සමත් අධිකරණ වෛද්‍ය විශේෂඥතාවක් ඇති ස්වාධීන විශේෂඥයන් විසින් මෙහෙයවන පුළුල්, ශක්තිමත් පරීක්ෂණයක අවශ්‍ය බවයි.
සිත්තුපාත්ති සමූහ සුසානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට නිරීක්ෂණය කිරීමට ඉඩ සලසා දෙන බවට ප්‍රසිද්ධියේ පොරොන්දු දුන් ආණ්ඩුව එය වලකාලීම වෙනුවෙන් අසාර්ථක වූ පරිශ්‍රමයක්, සැලසුම් සහගතව දැරීමේ බරපතල චෝදනාවටද මේ වන විට ලක්ව සිටී.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.
2013 වසරේ දී මාතලේ රෝහල ආසන්නයේ භූමියකින් මළසිරුරු 155ක් ගොඩගත් අතර එය ශ්‍රී ලංකාවෙන් හමුවු දෙවැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාලතම සමුහ සුසානය ලෙස පිලිගැනෙන්නේ එම වසරේදීම මිනිස් සිරුරු 82ක අස්ථි කොටස් ගොඩ ගත් මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වලයි.
කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගැනිමෙන් අනතුරුව කැනීම් කටයුතු අවසන් කළ අතර මීට වසරකට ඉහත දී කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී 2024 ජුලි මස 13 වැනිදා පළමු වරට මිනිස් අස්ථි කොටස් හමු වී හමුවු කොළඹ වරායේ පිහිටි පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් ගොඩ ගත් සම්පුර්ණ මිනිස් අස්ථි ගණන මේ වන තෙක් ප්‍රකාශයට පත් වී නැත.