ලිංගික අල්ලස් ඉල්ලූ රජයේ සේවකයෙකුට අධිකරණයෙන් දැඩි දඬුවම්

0
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ රජයේ සේවකයෙකුට අධිකරණයෙන් දැඩි දඬුවම්

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ රජයේ සේවකයෙකුට අධිකරණයෙන් දැඩි දඬුවම්

වකුගඩු රෝගයකින් පෙලෙන සත් හැවිරිදි දරුවෙකුට සැත්කමක් කිරීමට රජයෙන් ලබාදෙන ආධාර මුදල ලබා ගැනීමට අනුමැතිය ලබාදීමට එම දරුවාගේ මව වන 30 හැවිරිදි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු දිවි නැගුම සංවර්ධන නිලධාරියෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිරඳඬුවම් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කර තිබෙනවා.

සිරදඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ එම දඬුවම වසර දහයකින් එකවර ගෙවී යන ලෙස එකී දඬුවම නියම කරන බවයි.

ඊට අමතරව විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

එමෙන්ම විත්තිකරුට රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි.

මෙම විත්තිකරුට ගොනුකර ඇති චෝදනා හතරටම ඔහු වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.

මෙම වරදේ බරපතළභාවය සැලකිල්ලට ගැනීමේදී ලිහිල් දඬුවම් නියමකිරීමට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කර ඇත.

2015 වසරේ මාර්තු මස 31 වනදා වකුගඩු ආබාධයෙන් පෙළන සිය හත් හැවිරිදි දරුවාට සැත්කමක් සිදු කිරීම සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇයව තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේදී විත්තිකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com