බාල පොහොර වංචාව සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්

බාල පොහොර වංචාව සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන හයයි දශම නවයක (6.09) පාඩුවක් සිදුකරමින් මීට වසර හතරකට පෙර (2021) චීනයේ සමාගමකින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාලව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු ලබන මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළාය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන මහේෂ් ගම්මන්පිල නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකාර හිටපු අතිරේක ලේකම්වරයා විසින් කර ඇති එම ක්‍රියාව දුෂණය නමැති වරදට ගැනෙන බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු අධිකරණයට කරන ලද ඉල්ලීමක් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.
චීනයේ Qingdao Seawin Biotech නැමැති සමාගමේ පළමු පොහොර තොගයෙන් සියයට 75ට එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට සිදුවීමෙන් රජයට අයුතු සහගත පාඩුවක් සැකකාර පුද්ගලයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වුහ.