ඡන්ද විමසීමට අදාළව නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්

ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව යම් සේවකයෙකු විසින් ඡන්දය ලබාදීමට ඉල්ලීමක් කළ විට ඊට අදාළව සේවායෝජකයා විසින් ප්‍රමාණවත් යැයි සලකනු ලබන පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩුවක් ලබාදිය යුතුයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෑම අයෙකුටම ආයතන විසින් නිවාඩු ලබා දිය යුතු බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එසේ ලබාදෙන නිවාඩු කාලසීමාව, අනියම් සේවා නියුක්තිකයින්ටද ඇතුළුව සියලුම සේවා නියුක්තියන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තියන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බවද අදාළ නිවේදනයේ දැක්වේ.
සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතුය.
ඒ අනුව යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යායුතු දුර කිලෝමිටර් 40 හෝ ඊට අඩු වේ නම් දින භාගයක නිවාඩුවක්ද, කිලෝමීටර් 40-100 අතර වේ නම් දින 1ක් බැගින්ද නිවාඩු හිමි වනු ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම කිලෝමීටර් 100-150ත් අතර වේ නම් දින 1 1/2ක නිවාඩුවක්ද කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බවත් එහි සඳහන් ව ඇත.