අනුර බොරු කීවේ ඇයි?

අනුර බොරු කීවේ ඇයි?
ජනාධිපති අනුර කුමාර දිසානායක, තමාගේ අත්සනින් මාස තුනක රැඳවුම් නියෝගයක් අත්සන් කොට, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ තබාගත් වයස අවුරුදු 22ක තරුණයා පිළිබඳ අසත්‍ය කරුණු කියා ඇතැයි වාර්තා වෙනවා. මෙම තරුණයා රඳවා තබාගැනීම පිළිබඳ මතු වූ විරෝධයෙන් පසු, එම තරුණයාව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොන්දේසි සහිතව ඇප ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා තවමත් ඉදිරිපත් කර නැහැ.
එම තරුණයාව රඳවා තබාගැනීමෙන් පසු තරුණයාගේ මාපියන් තමන්ට ස්තූති කළේය යන කරුණ මෙන්ම තරුණයා අන්තවාදී ලෙස අභිප්‍රේරණය වී ඇතැයි ඔහු කිය ඇති කරුණු අසත්‍ය කරුණු බව අප කළ විමසීම්වලදී අනාවරණය වුණා.
අපට ඉතා විශ්වාසදායී ආරංචිමාර්ගවලින් තහවුරු කරන ලද්දේ ජනාධිපතිවරයා තරුණයාගේ මාපියන් හමු වී නොමැති බවත්, ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවේ වෙන කිසිවෙකුට මෙම තරුණයාගේ මාපියන් ස්තූති කර නොමැති බවට්ජ්.
මීට අමතරව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව ප්‍රකාශ කළත් මෙම තරුණයාට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන විට වයස අවුරුදු 16ක් පමණයි. අප මෙම විශේෂාංග සටහන ඉදිරිපත් කරන්නේ, අදාල තරුණයා පිළිබඳ විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීමටයි.
අපි නිහඬව හිටියා
ජනාධිපති අනුර කුමාර දිසානායක මඩකලපුවේ රැස්වීම්වලදී, අපි කතා කරපු මාතෘකාවක් ගැන යමක් කීවා. අපි නිහඬව ඉන්න උත්සාහ කළා. ඒත්, දිගින් දිගටම අපට ප්‍රතිචාර ලැබෙනවා ඒ ගැන සද්ද නැතුව ඉන්නේ ඇයි? ඒ ගැන කතා නොකරන්නේ ඇයි? අපි බොරු කී බව අනුරගේ කතාවෙන් ඔප්පු වුණා නේද? ඇයි සද්ද නැත්තේ වගේ බොහෝ දේවල් කියනවා.
ඉතින්! බැරිම තැන මේ සටහන ලියන්න වෙනවා. හැකි තරම් කෙටියෙන් ලියන්නම්. හැකි තරම් කෙටියෙන් ප්‍රශ්නයක් අහන්නම්.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරය! බොරු කියන්නේ ඇයි? බොරු කීම ඔබට තරම්ද?
අනුර කී ඇත්ත
අපි ඔහු කී කතාවේ බොරුව හෝ ඇත්ත විග්‍රහ කරන්නට පෙර ඔහුටත් සාධාරණයක් වෙන විදියට ඔහු මේ මාතෘකාව ගැන කරපු අදහස් දැක්වීම්වලින් අවශ්‍ය කොටස් කිහිපයක් උපුටා දක්වමු.
‘සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනය තිබුණේ කොහොමද? අපේ රටේ ජනතාව බෙදන දේශපාලනයක් තිබුණා. මුස්ලිම් ජනතාව ඡන්දය දෙනවා මුස්ලිම් පක්ෂවලට. දෙමළ ජනතාව ඡන්දය දෙනවා දෙමළ පක්ෂවලට. සිංහල ජනතාව ඡන්දය දෙනවා සිහංල පක්ෂවලට. ඒ කියන්නෙ මොකක්ද? ඡන්ද කරනකොට එක එක ජන කොට්ඨාශ අනුව බෙදිලා තමයි ඡන්ද කරන්නේ.
අපේ රටේ ඡන්ද තිබුණේ කොහොමද? එකිනෙකාට එරෙහිව. බෙදෙන ඡන්ද. හැබැයි ඉතිහාසය වෙනස් වුණා. පහුගිය මහමැතිවරණයේදී උතුර ජයග්‍රහණය කළේත් මාළිමාව. නැගෙනහිර ජයග්‍රහණය කළේත් මාළිමාව. දකුණේ ජයග්‍රහණය කළේත් මාළිමාව.
බෙදුණු දේශපාලනය අවසන්. අනාගතය තියෙන්නේ කා අතේද? බෙදීමට එරෙහිව එකතු වෙන ජනතාව අතේ. ඒ කියන්නේ මාළිමාව අතේ තමයි මේ රටේ අනාගතය රඳා පවතින්නේ.
එකතුවෙච්ච එකට විරුද්ධ අයත් ඉන්නවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මුස්ලිම් ජනතාව ගැන බලන්නේ නෑ. මුස්ලිම් ජනතාවට සලකන්නෑ වගේ කතා කියනවා. කවුද කියන්නේ. පැරදුණු අය. බෙදන්න ඕනෑ අය.
ආයේ මේ භූමියේ ජාතික ගැටුමක් ඇති වෙන්න ජාතික ජන බලවේගය ඉඩ දෙන්නේ නැහැ.
අනතුර ක්‍රියාත්මක කරන්නේ කවුද? සිංහල කෙනෙක්ද? දෙමළ කෙනෙක්ද? භේදයකින් තොරව අනතුරට එරෙහිව අපි ක්‍රියා කරනවා.‘ මේ ඔහු දැක්වූ අදහස් අතරින් ඉතා වැදගත්, එකඟ විය හැකි කොටසක්.
අපි බොරු කියනවායැයි කියන්නේ ඔය අදහස්වලට නෙවෙයි. ඔහු කීවේ ඇති. ජනතාව බෙදලා හිටියේ. ඒත්, පහුගිය මැතිවරණයේදී ජනතාව හැම තැනින්ම මාළිමාවට ඡන්දය දුන්නා. මාළිමාවට ජනතාව බෙදා පාලනය කරන්න ඕනෑ නෑ. ජාතිවාදය අවුස්සන්න ඕනෑත් නෑ. එහෙම බෙදා පාලනය කළ ජාතිවාදී දේශපාලනය මාළිමාව පිළිකුල් කරනවා. ඒවා ඔක්කොම සහතික ඇත්ත.
ඒත්, ඔහුගේ අදහස් මේ තරුණයාව රඳවා තබාගැනීම සාධාරණීකරණය කරන පැත්තට හැරෙනවා. එතැනයි අපට බරපතල ගැටලුවක් ඇති වන්නේ.
බොරු
අනුර කුමාර දිසානායක ආරුගම්බේ ප්‍රහාරය ගැනත් කියනවා.
‘බලය අරගෙන දවස් කිහිපයක් යනකොට ආරුගම්බේ ප්‍රහාරයක් පිළිබඳ වාර්තා අපට ආවා. අපි විශාල වෙහෙසක් දරලා ඒ අය අත්අඩංගුවට ගත්තා. එතැන මුස්ලිම් සහෝදරවරු හිටියා. දෙමළ අය හිටියා. අපි ඒ මුස්ලිම් හින්දාද අත්අඩංගුවට ගත්තේ. දෙමළ හින්දාද අත්අඩංගුවට ගත්තේ. නෑ ඒ ප්‍රහාරය වැළැක්වීම තමයි ආණ්ඩුවේ වගකීම. ඒ අනුව තමයි අපි කටයුතු කළේ.‘
මෙතැන ගැටලුව මොකක්ද? අනුර කුමාර දිසානායක කීවා එතැන හිටියේ මුස්ලිම් ජාතිකයන් පමණක් නොවන බව. දෙමළ අය හිටිය බව. මුස්ලිම් අයත් හිටිය බව. ඒත්, ඔහු කීවේ නැහැ එතැන හිටපු අහිංසකයන් ගණන. කිසිදු වරදක් නොකර නිකරුණේ මාස තුනක් තිස්සේ රඳවා තබාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඔහු කීවේ නැහැ. මේ කියන පුද්ගලයන්ට රැඳවුම් නියෝග ලබා දුන්නේ චෝදනා තිබියදීද? නැද්ද යන්න ඔහු කීවේ නෑ.
එයින් පසුයි ඔහු අත්අඩංගුවට ගත් තරුණයා ගැන කීවේ.
‘ලංකාවේ ප්‍රධාන සුපර්මාකට් එකකට ගිහිල්ලා රහසේ ස්ටිකර් එකක් අලවනවා. අපි ඒ පිළිබඳ පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා අත්අඩංගුවට ගන්නවා. අපි ඔහු ගැන පරීක්ෂණ කරනවා. ඔහුගේ දුරකථනයේ තිබුණු දේවල් අපි බලනවා. විශාල සබඳතාවක් තිබෙන බව අපට හෙළිදරව් වෙන්නේ නෑ.
එහෙත්, පහුගිය ප්‍රහාරයට සම්බන්ධ වුණ අයත් එක්ක දුරකථනයෙන් අමතා තිබුණු බව තොරතුරු වාර්තා වුණා. නමුත් ඒක මත නෙවෙයි විමර්ශන කළේ.
ඔහු සමාජ මාධ්‍ය භාවිතාව අනුව ස්වයංව අභිප්‍රේරණය වුණ තරුණයෙක්. යූටියුබ් බලලා සමාජ මාධ්‍යවලින් ස්වයංව අභිප්‍රේරණය වූ තරුණයෙක්. ලෝකයේ සිදුවෙන සිදුවීම්වලදී මුස්ලිම් භක්තිකයන්ට විශාල කම්පනයක් තිබෙන බව ඔබ දන්නවා. ඒක අපි දන්නවා. පලස්තීනයේ සිදුවෙන සිදුවීම් අපි ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරයක්. හැමදාම පලස්තීනයේ නිදහස වෙනුවෙන් පෙනීසිටපු ව්‍යාපාරයක්. ඒ පිළිබඳ උද්ඝේෂණය කරන්න, විරෝධය දක්වන්න අයිතියක් තියෙනවා. ඒ අයිතියට අත තියන්නේ නෑ. මා දැක්කා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටත් උද්ඝෝෂණ කරලා තිබුණා. අපි ඒවාට අත තියන්නේ නෑ.
මෙතැන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. ඔවුන් ස්වයංව අභිප්‍රේරණයට ලක්වෙලා. ඔහුගේ දෙමාපියන්ට අපි ඔහුව පෙන්නුවා. දෙමාපියෝ ස්තූතිවන්ත වුණා, දරුවා බේරාගැනී පිළිබඳ ඒකයි අපි අත්අඩංගුවට ගත්තේ. මේක මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත්ත අත්අඩංගුවට ගැනීමක්ද? නෑ එය වැළැක්වීම සඳහා ගත් පියවරක්.
තරුණයන් අන්තවාදයෙන් ගලවාගැනීම වෙනුවෙන් අපි ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒක වැරදිද?‘
මෙහිදී ජනාධිපතිවරයා කියා ඇති පළවැනි සාවද්‍ය කරුණ වන්නේ, මෙම තරුණයාගේ මාපියන් තමන්ට ස්තූතිවන්ත වූ බව. එහෙත්, ඇත්තෙන්ම පසුගිය සතියේ දිනෙක අපිත් මේ තරුණයාගේ මාපියන් මුණගැසුණා. අපි මුණගැසුණත් කිසිවිටෙක ජනාධිපතිවරයා තමන් විසින් සිර කළ තරුණයාගේ මාපියන් මුණගැසුණේ නෑ. ඒ මාපියන් ස්තූති කළේත් නෑ. මුණගැසුණේ නම් ඒ මාපියන් කියනු ඇත්තේ තමන්ගේ දරුවන් කිසිම වරදක් කර නොමැති බව.
ජනාධිපතිවරයාගේ නියෝජිතන් ලෙස මේ මාපියන් සමග ගනුදෙනු කළ ත්‍රස්ත විමර්ශන ඒකකය සලකා තිබුණේත් කප්පම් කල්ලියක් හැසිරෙන ආකාරයටයි. ලියුම් ලියාගෙන තැන් තැන්වලට ගෙන්වා ගැනීමටත්, ලාබාල දියණියව ගෙන්වාගැනීමට උත්සාහ කිරීමටත්, වැඩිමල් පුතාගේ රැකියාව අහිමි කරන බව තර්ජනය කිරිමත් ආදී බොහෝ දේ සිදුව තිබුණා.
මේ තරුණයා ස්වයං අභිප්‍රේරණයකට ලක් වූ බව හෝ අන්තවාදයට යොමු වූ බව පෙන්වන්නට කරුණු තිබුණේ නෑ. අන්තිමේ මේ තරුණයා පස් වතාවක් ආගම කීම පවා අන්තවාදයක් විදියට හුවා දක්වා තිබුණා. තමන්ගේ සේවා ස්ථානයට පැමිණි ඉරාන ජාතිකයෙකු සමඟ කතා කිරීමත්, ඊශ්‍රායල් අන්තවාදීන් බව අන්තර්ජාලයේ කරුණු කියැවීමත්, අන්තර්ජාලය තුළ ඊශ්‍රායල්- පලස්තීන ප්‍රශ්නය ගැන සොයා බැලීමත් අන්තවාදී ක්‍රියා ලෙස හුවා දක්වා තිබුණා. අන්තිමේ, ජමෙයිතුල් උලමා සංවිධානය මෙම තරුණයා අන්තවාදී බව ප්‍රකාශ කළේයැයි පොලීසිය මාධ්‍යවලට බොරුත් කිව්වා.
ඊළඟට ජනාධිපතිවරයා කියා තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් එක්ක මේ තරුණයා කතා කර ඇති බවට. එවැන්නක් සිදු වුණේ කවදාද? ප්‍රහාරයට කලින්ද? පසුවද? තරුණයා එක්ක කතා කළේ ප්‍රහාරයෙන් පසුව නම් එම පුද්ගලයා නිදැල්ලේ ගැවසෙන කෙනෙක් විය යුතුයි. එසේ නම් තරුණයා ඒ පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව දන්නේ කොහොමද? පාස්කු ප්‍රහාරයට පෙර නම් ඒ තරුණයාට ඒ වෙද්දී වයස අවුරදු 16ක්.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් එක්ක කතා කළාය කියන එක මේ තරුණයාට තියෙන චෝදනාවක් නෙවෙයි. ඒත්, වැරදිලා හෝ එහෙම කතාබහ කර තිබුණේ නම් අප ජනාධිපතිවරයාගේ සිහියට නැංවිය යුත්තේ එලෙස කතා කිරීම අපරාධයක් නොවන බව. කතා කරමින් අපරාධයක් සැලසුම් කළේ නම් පමණක් එය අපරාධයක් වන බවයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවේ සිටින පුද්ගලයන් තමන්ගේ ජාතික ලැයිස්තුවේත් සිටි බව ඔහු හොඳින්ම දන්නවා. එසේ හිටියාට, තමන් ඒ පුද්ගලයාගේ ක්‍රියාවලට සම්බන්ධ නැති බවත් ඔහු දන්නවා. ඒ නිසා මේ පොඩි කොල්ලාගේ නම පාස්කු ප්‍රහාරයට ගෑවීම කරනවා නම් ඔහු එය වගකීම් සහගතව කළ යුතුයි. ඔහුට ඒ බව පෙන්වන්න සාක්ෂ්‍ය තියෙනවාද?
ෆක් ඊශ්‍රායෙල් කියා ස්ටිකරයක් ඇළවීම අනුර කුමාර දිසානායකට කොල්ලෙක්ව හිර කර තබන්නට තරම් වරදක් වුණාට, එය අපට කිසිම වරදක් නෙවෙයි. රටේ නීතියට අනුව වරදකුත් නෙවෙයි. ඉතින්, ඔහුගේ හිතලු මත කෙලෙසද තරුණයෙක් සිර කරන්නේ? ඔහුට ‘අභිප්‍රේරණය වුණා‘ කියා සිතෙනකොට- කිසිම වෛද්‍යමය හෝ අන්තවාදය ගැන විශේෂඥ දැනුමක් නැති ඔහු මෙලෙස කොල්ලෙක් සිර කළේ ඇයි? ඒ මදිවාට මාපියන් ස්තූති කළායැයි බොරු කියන්නේ ඇයි?
දේශපාලන වේදිකාවේ නඩු ඇසීම
දැන් මේ කොල්ලාව මාස තුනක් සිරගත කිරීම ගැන ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ සාධාරණීකරණය කරනවා. මෙයම තමයි ත්‍රස්ත පනතේ භයානකකම ගැන අප කියන කතාව. දේශපාලනඥයෙක් විසින් මේවාට අත්සන් කළාම, ඒ සියලු තීන්දු දේශපාලනිකයි. දැන් ජනාධිපතිවරයා තමන් යන මැතිවරණ වේදිකාවෙන් වේදිකාවට තමා තරුණයාව සිර කිරීම සාධාරණීකරණය කරනවා. සාමාන්‍ය ජනතාවටවත්, මැතිවරණ රැස්වීම්වලට පැමිණෙන ජනතාවටවත් ඒවා පළකරන මාධ්‍ය බලන්නන්ටවත් අධිකරණ මනස මෙහෙයවීමේ හැකියාවක් නෑ. මේ තරුණයාට තියෙන චෝදනාව පදනම් සහගතද, තරුණයා උල්ලංඝනය කරපු නීතිය මොකක්ද යනාදී කිසිවක් අදාල නෑ. ජනාධිපතිවරයාට ඒවා ඕනෑත් නෑ.
අන්තවාදයට ඉඩ දෙන්නේ නැතැයි කියමින් ඔහුගේ මනස් ලෝකය තුළ ‘අන්තවාදී‘ කිය හැඟෙන ඕනෑ ක්‍රියාවක්, ඕනෑ පුද්ගලයෙක් සිරගත කළ හැකියි. ඊට පස්සේ ඒ අයගෙ අම්ම තාත්තාත් මට ස්තූති කළා කියා මැතිවරණ වේදිකාවේ බොරු කියමින් යා හැකියි.
මේ සටහන ප්‍රශ්නයකින් අවසන් කරන්නම්. ප්‍රශ්නය සරලයි.
අනුර කුමාර දිසානායක බොරු කියන්නේ ඇයි?
– තරිඳු උඩුවරගෙදර