ශ්‍රි ලංකාව තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශ අපනයනය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යට

ශ්‍රි ලංකාව තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශ අපනයනය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යට
මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ocean star jack mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ දිනයේදි (29) කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කළේය.
මෙය මෙරට නිෂ්පාදිත ටින් මාළු විදේශ වෙළද පොළට අලෙවිය සඳහා අපනයනය කළ ප්‍රථම අවස්ථාව වේ. ඒ අනුව මෙම ටින් මාළු තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත අපනයනය කෙරේ.
මෙම ටින් මාළු තොගයෙ හි එක් බහාලුමක කෑන් 48000කින් යුක්ත වේ. ඉන් ඩොලර් 38,000 – 40,000ත් අතර විදේශ විනිමය මෙරටට හිමි වේ.
Ocean food ආයතනය විසින් ධීවරයින් මුහුදින් අල්ලන මාළු ගුණාත්මක මට්ටමින් කර්මාන්ත ශාලාව වෙත රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව දේශීය ධීවර යාත්‍රාවන් මුහුදින් මාළු අස්වැන්න නෙලා ගෙන දින දෙකක් ඇතුලත දී Ocean food ආයතනයේ නැව් මගින් එම අස්වැන්න රැගෙන සීතාගාර තුළ තැන්පත් කර කඩිනමින් කර්මාන්ත ශාලාව වෙත ගෙන ඒම සිදු කරයි. එම නිසා පසු අස්වනු හානිය සිදුවන්නේ නැත. පසු අස්වනු හානිය අවමකිරිම මෙම ආයතනයේ ප්‍රධාන ඉලක්ක අතර වේ. එමෙන්ම අපනයනයට වඩාත් සුදුසු තත්වයේ මාළු කෑනයක් නිෂ්පාදනය කිරීමට මෙම ක්‍රමවේදය බෙහෙවින් උපකාරි වේ. එමෙන්ම මේ මගින් ධීවරයින්ට වැඩි මිලක් මුහුදේ දී හිමි වන අතර නැවත කඩිනමින් මාළු අස්වැන්න නෙලා ගැනීම සඳහා අවශ්‍ය පහසුකමද හිමි වේ.
මෙහිදි Ocean food අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කළේ මේ තුළින් පසු අස්වනු හානිය අවම වීම, ධීවරයින්ට හොඳ මිලක් ලැබීම සහ දේශීය හා විදේශීය පාරිභෝගිකයින් වෙත ප්‍රමිතියෙන් යුතු පහසු මිලකට ටින් මාළු කෑනයක් මිල දී ගැනීමට හැකියාව සලසා ඇති බවයි.
ශ්‍රි ලංකාව තුළ ටින් මාළු කර්මාන්ත ශාලා 21ක් දැනට ක්‍රියාත්මක මට්ටමේ පවතින බවත් ඉන් ධීවර දෙපාර්තමේන්තුවේ පිරිවිතරයන්ට අනුකූලව ලියාපදිංචි කළ දෙවන කර්මාන්ත ශාලාව Ocean food ආයතනය බව මෙහිදි අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
මීට සමගාමීව අපනයන බලපත්‍ර ප්‍රදානය කිරීම කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණය සහ නව භෝජනාගාරය විවෘත කිරීමද අමාත්‍යවරයා විසින් සිදු කළේය.