අල්ලස් මුදල් ගත් තක්සේරු නිලධාරිනිය අත්අඩංගුවට

රු. 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් තක්සේරු නිලධාරිනිය අත්අඩංගුවට
රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් තක්සේරු නිලධාරිනියක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කුරුණෑගල, බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.
පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාළ ඔප්පුව සඳහා රජයට අයවිය යුතු හිඟ මුද්දර ගාස්තුව අඩු කර සකස්කර දීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන් ඇය විසින් මෙම අල්ලස් මුදල් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධව වයඹ පළාත් සභාවේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ මෙම තක්සේරු නිලධාරිනිය සඳුදා දිනයේදි (17) ඇය සේවය කරන කාර්යාලයේ නිල මේසය අසලදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.