CCTV වලින් හඳුනාගත් හොර අංක තහඩුවලින් වාහන 2,267ක්

CCTV වලින් හඳුනාගත් හොර අංක තහඩුවලින් දුවන වාහන 2,267ක්
කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරා මඟින් මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරම්භ කර ඇති මෙහෙයුම්වලින් ව්‍යාජ අංක තහඩු යොදා මහ මඟ ධාවනය කරන සුඛෝපභෝගී වාහන 2,267ක් හඳුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
ආරක්ෂක කැමරා මඟින් මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම ආරම්භකරනු ලබන්නේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. එදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ රථවාහන නීති උල්ලංඝනය කළ වාහන 12,246ක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව තිබේ.
කැමරාවෙන් හඳුනාගන්නා වාහනයේ අංකයන්ට අනුව එහි ලියාපදිංචි හිමිකරු හඳුනාගෙන, ඒ ඔස්සේ නීතිය ක්‍රියාත්මක කරනු ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඍජුවම මෙම අංශයේ නිලධාරීන්ට සම්බන්ධවීමේ අවස්ථාව ද ඒ සඳහා ලබා දී තිබේ.
කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවලට හසුවූ මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ වාහන 12,246 අතරින් වාහන 2,267ක් හොර වාහන ලෙස හඳුනාගෙන ඇත්තේ එහි ලියාපදිංචි හිමිකරු සොයා යාමෙනි. මෙම වාහන 2,267න් වැඩි වාහන ප්‍රමාණයක අංක තහඩු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත පද්ධතියේ මෙතෙක් ලියාපදිංචි කර නොමැති ඒවා බවත්, ඇතැම් වාහන ලියාපදිංචි හිමිකරුවන් සොයා ගොස් පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයන්ට එවැනි වාහනයක් තබා යතුරුපැදියක්වත් ගැනීමට වත්කමක් නැති පුද්ගලයන් බවත් පෙනී ගොස් තිබේ.
මෙම වාහන 2267ම හොර වාහන බවට ඒ අනුව විශ්වාස කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතා පැවසීය.
මෙම වාහන අංක දිවයින පුරා පොලිස් ස්ථානවලට යොමුකරමින් ඒවා නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුමක් ඉදිරියේදී දියත් කරන බවද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසීය.