දේශබන්දු ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්

දේශබන්දු ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්
එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ 2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළවය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා, “වැලිගම පොලීසියේ නිලධාරීන් විසින් සිදුකරන ලද වෙඩිතැබීම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මත පිහිටා කළ වෙඩිතැබීමක් බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට දන්වා තිබෙනවා. කෙසේ නමුත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම ස්ථානයට යොමු කිරීම නිත්‍යානුකූල නොවන අයුරින් සිදුව ඇති බවත්, ඒ අනුව එදින මෙම ස්ථානයට පැමිණි නිලධාරීන් සහ එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.” යනුවෙන් පැවසීය.
2023 වසරේ දෙසැම්බර් මස 31වනදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හරක් කටාගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර වැලිගම ප්‍රදේශයට ගොස් තිබුණි.
එහිදී වැලිගම පිහිටි W15 හෝටලය දෙස සිට සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය පැවසුවේය.
ඒ අතරතුරදී වැලිගම පොලිස් ස්ථානයට අයත් ජංගම මුර සංචාරක රථයක් පැමිණ පොලිස් නිලධාරීන් පැමිණි වෑන් රථයට වෙඩි තබා තිබුණි. ඒ, එම වෑන් රථයේ සිටින්නේ අපරාධකරුවන් යැයි වරදවා වටහා ගැනීමෙනි.
ඒ සමග වෑන් රථය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ඒ වනවිටත් වෑන් රථයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි වැදී තුවාල සිදුව තිබුණි.
එහිදී රෝහල්ගත කළ එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණි.
එලෙස වෙඩිවැදී මියගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර නමැති 47 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.
අදාළ මූලික මරණ පරීක්ෂණය මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වූ අතර එහි තීන්දුව ඊයේ (27) දිනයේදී ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.