හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්
ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තාට පැනයාමට උපකාර කිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරු වූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩ මුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය.
දඩ මුදල් නොගෙවන්නේ නම් ඔහුට තවත් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
2015 මැයි 13 වැනිදා යාපනය කයිට්ස් පුංකුඩිතිව් හිදී සිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කොට සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශ වාසීන් විසින් සැකසහිත පුද්ගලයකු ලෙස ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් නැමැත්තා අල්ලා පොලිසියට භාරදුන් අවස්ථාවේ එවකට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ මහතාගේ නියෝග මත පොලිසිය සැකකරුව මුදාහැර තිබුණි.
අත්අඩංගුවේ සිටි සැකකරුවකුට පැන යාමට අනුබල දීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා 2017 වසරේ ජූලි 15 වැනිදා අත්අඩංගුවට ගෙන කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් සැකකරුට මෙම දඩුවම මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කළේය.