වනඅලි 6කට මරු කැඳ වූ බිහිසුණු අනතුර

වනඅලි 6කට මරු කැඳ වූ බිහිසුණු අනතුර
මඩකලපුව මාර්ගයේ ගල්ඔය සහ මින්නේරිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක ගැටීමෙන් වනඅලි 6 දෙනෙකු මියගොස් තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, වනඅලි 7 දෙනෙකු රාත්‍රියේ දුම්රියේ ගැටී ඇති බවයි.
මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය ගල්ඔය අතර කැලෑබද ප්‍රදේශයේදී, 141 වන සැතපුම් කනුව ආසන්නයේදී වන අලි 7 දෙනෙකු දුම්රියක ගැටී මෙම අනතුර සිදු විය.
පොලීසිය පැවසුවේ,ඊයේ (19)රාත්‍රී 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
වනඅලි ගැටී ඇත්තේ, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේයි.
කවුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වනඅලි රංචුවක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරින් වන අලි 6 දෙනෙකු මියගොස් තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, තුවාල ලැබූ වන අලි දෙදෙනෙක් තවමත් එම ස්ථානයේ රැඳී සිටින බවයි.
කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ නිලධාරීන් සඳහන් කළේ, ඒ අතර වයස අවුරුදු 3ක් පමණ වූ අලි පැටවෙකුද වන බවයි.
අනතුරත් සමග දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත. මේ හේතුවෙන් තවදුරටත් මඩකලපුව මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
අනතුරත් සමග දුම්රිය පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු විය.
වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, මියගිය වන අලි 6 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණ කටයුතු කවුඩුල්ල ජාතින වන උද්‍යානයේ වනජීවි නිලධාරීන් ගල්ඔය පොලීසිය හා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සිදු කෙරේ.
වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 66ක් සිදුව තිබේ. ඉන්, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම්වලිනි. එම සංඛ්‍යාව, 13කි. විදුලි සැර වැදීමෙන් වන අලි 8 දෙනෙකු මිය ගියහ. හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මිය ගිය වනඅලි ගණන 04කි. දුම්රියේ ගැටී මියගොස් ඇති වන අලි සංඛ්‍යාව, 8කි.
වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, හදිසි අනතුරවලින් වනඅලි දෙදෙනෙකු සහ සාමාන්‍ය මරණ 4ක්ද වාර්තා වන බවයි.
පසුගිය වසරේත් දුම්රිය අනතුරුවලින් වනඅලි 11 දෙනෙකු මියගොස් තිබේ.