යෝෂිතට නඩු; ඩේසි ෆොරෙස්ට් සැකකාරියක් ලෙස නම් කරයි
![යෝෂිතට නඩු; ඩේසි ෆොරෙස්ට් සැකකාරියක් ලෙස නම් කරයි](https://srihanda.lk/wp-content/uploads/2025/02/යෝෂිතට-නඩු-ඩේසි-ෆොරෙස්ට්-සැකකාරියක්-ලෙස-නම්-කරයි-650x366.jpg)
යෝෂිතට නඩු; ඩේසි ෆොරෙස්ට් සැකකාරියක් ලෙස නම් කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරෙස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59ක සිද්ධියට අදාළව ඩේසි ෆොරෙස්ට් යන අය එම නඩුවේ සැකකාරියක ලෙසට නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය ඉදිරියේ ඊයේ දිනයේ (11) දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම තැනැත්තිය සැකකාරියක ලෙසට නඩුවට ඇතුළත් කර ඇයට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසියක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකරන ලෙසත් ඇගෙන් ප්‍රකාශ ගැනීම ඇතුළු සියලු කාරණා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය එම දෙපාර්තමේන්තුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
රුපියල් මිලියන 59ක බැංකු ගිණුම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහයට අනුව වැරදි කිහිපයක් සිදු කර ඇති මෙම කාන්තාව සැකකාරියක කරන ලෙස නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ ඇතැයිද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති ලබාදුන් උපදෙස් අනුව ක්‍රියා කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ඇගෙන් ප්‍රකාශයක් ගෙන විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. අදාළ නඩුව සම්බන්ධයෙන් පෙරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා පියවර ගන්නා ලෙසටද මෙහිදී අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනතින් නඩු පවරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව සඳහන් කළේ,ඊයේ (11) පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.