ආනයනය කළ MOP පොහොරවල ප්‍රමිතිය ගැන සහතිකයක්

0
ආනයනය කළ MOP පොහොරවල ප්‍රමිතිය ගැන සහතිකයක්

ආනයනය කළ MOP පොහොරවල ප්‍රමිතිය ගැන සහතිකයක්

රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර යම් කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඒ සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

ආනයනය කරන ලද එම පොහොර සංයුතියේ විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂා කරන ලද අනෙකුත් ප්‍රමිතීන් අනුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම පොහොරවල වර්ණය තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වන බවටයි තොරතුරු හෙළිවී ඇත්තේ.

යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා අතර එසේ නොවන අවස්ථාවල සුදු පැහැයක් ගන්නා බවත් පොහොරවල ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන, එකම පොටෑසියම් ප්‍රමාණයක් සපයන බවත් එහි සඳහන් වනවා.

ඒ සම්බන්ධයෙන් පාංශු විද්‍යාව පිළිබඳ විද්‍යාඥ රේණුකා සිල්වා මහත්මිය විසින් ලබා දී ඇති වාර්තාව අනුව මෙය තහවුරු කළ තොරතුරු මත පදනම් වන බැවින් එම පොහොර, අනියත බියකින් තොරව භාවිත කළ හැකි බව අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ලෝක ආහාර වැඩසටහනට සමගාමීව රුසියාවෙන් මෙරටට මෙම පොහොර තොගය ලබා දුන් අතර එම පොහොර තොගය රැගත් නෞකාව පසුගිය 12 වැනිදා කොළඹ වරායට පැමිණ තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com