අයිස් සහ කොකේන් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයිනේදි අත්අඩංගුවට
![මාලදිවයිනේදී අයිස් සහ කොකේන් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට](https://srihanda.lk/wp-content/uploads/2024/11/අයිස්-සහ-කොකේන්-මත්ද්‍රව්‍ය.jpeg)
මාලදිවයිනේදී අයිස් සහ කොකේන් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයිනේදී අත්අඩංගුවට ගැනුණා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකාය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමට අනුවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකාය බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් මෙහෙයුම සිදු කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස මාලදිවයින් මුහුදු කලාපය වෙත ‘අශේන් පුතා’ නැමැති ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාව ඇතුළු වී ඇති බවට තොරතුරු වාර්තා වුණා.
එය යම් දෝෂයක් හෝ ආපදාවක් හේතුවෙන් එම කලාපය ඇතුළු වී ඇද්දැයි තහවුරු කරන ලෙසයි මාලදිවයින වෙරළආරක්ෂක බලකාය නාවික හමුදාවට දැනුම්දී තිබුණේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව ඊට අදාළ තොරතුරු පරික්ෂා කිරීමේදී තහවුරු කර ගත්තේ එය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යාත්‍රාවක් බවයි.
ඒ අනුව අදාළ තොරතුරු හුවමාරුවෙන් පසු යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදු කෙරුණා. එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 344ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 124ක තොගයක් සොයා ගෙන තිබෙනවා. එහි සිටි සැකකරුවන් 05 දෙනෙකුද මාලදිවයින් වෙරළ ආරක්ෂක බලකාය සිය භාරයට ගත්තා.
මෙම සැකකරුවන් අවුරුදු 21ත් 37ත් අතර වයස් කාණ්ඩවල පසුවන දෙවිනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රි ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබුණේද නැතහොත් වෙනත් රටකට රැගෙන යාමට සූදානම් කර තිබුණේද යන්න පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.