සින්වාර් ඝාතනයට හිස්බුල්ලා සංවිධානයෙන් ප්‍රතිචාර

සින්වාර් ඝාතනයට හිස්බුල්ලා සංවිධානයෙන් ප්‍රතිචාර

සින්වාර් ඝාතනයට හිස්බුල්ලා සංවිධානයෙන් ප්‍රතිචාර

පලස්තීන හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද සිකුරාදා දිනයේ (18) ප්‍රතිචාර දක්වා තිබේ.

ඔවුන් පවසන්නේ ඊශ්‍රායලය සමග පවතින ගැටුම් නව ප්‍රවේශයකට පත් විමට සහ තවත් උත්සන්න වීමට එය හේතුවිය හැකි බවයි.
ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර තවත් දැඩි කරන බවටද හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි.

2023 ඔක්තෝබර් 7වනදා ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට එල්ලකළ ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන පුද්ගලයා ලෙස සින්වාර්ව හඳුනාගෙන තිබුණි. එම ප්‍රහාරය දැනට පවතින ගාසා යුද්ධයට හේතුවිය. ඉන් ඝාතනයට පත්වි ඇති පලස්තීනුවන් ගණන 42,000 ඉක්මවයි.

61 හැවිරිදි සින්වාර්ව පසුගිය බදාදා දිනයේ (16) ගාසා හි රෆා ප්‍රදේශයේදී ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්විය. ඔහු මියයෑමට මොහොතකට පෙර ඊශ්‍රායලයේ ඩ්‍රෝන යානයක් ඔහු අසලටම යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

මේ අතර හිස්බුල්ලා සහ හමාස් සංවිධාන සඳහා ප්‍රසිද්ධියේ සහාය දක්වන ඉරානය පවසා ඇත්තේ මෙම ඝාතනය නිසා ඔවුන් ලබාදෙන සහාය අඩු නොකරන බවයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ සින්වාර්ගේ ඝාතනය හේතුවෙන් දැනට ඇනහිට ඇති ගැටුම් වැළැක්වීම සඳහා වූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට මාර්ගයක් පෑදෙනු ඇති බවයි.

යහ්යා සින්වාර් හමාස් සංවිධානයේ නායකත්වයට පත්වූයේ පසුගිය අගෝස්තු මාසයේදී ඊශ්‍රායලය හමාස් සංවිධානයේ හිටපු නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමෙන් පසුවය.

ගාසා තීරයේ ගොඩබිම් සටන්වලදී තුවාල ලැබූ බවට පැවසෙන සින්වාර්, අබලන් වූ ගොඩනැගිල්ලක් තුළ සිටින අයුරු ඊශ්‍රායලය නිරීක්ෂණය කර තිබුණේ, ඩ්‍රෝන යානයක් මගිනි. මෙම වීඩියෝවේ සිටින්නේ හමාස් නායකයා බවට එම මොහොතේ ඊශ්‍රායලය හඳුනාගෙන නොතිබුණත්, එම ගොඩනැගිල්ල ඉලක්ක කරමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබුණි. කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර හමාස් නායකයාගේ හැඩරුව ගත් සිරුර විශේෂ පරීක්ෂාවට ලක්කර ඇති අතර එය හමාස් නායක සින්වාර්ගේ බවට තහවුරු කරගෙන තිබුණේ DNA පරීක්ෂණ මගිනි.

ඊශ්‍රායල ඉතිහාසයේ ඔවුන් ලද දරුණුතම පරාජය ලෙස වාර්තා අතරට එක් වූ අනපේක්ෂිත ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන්නේද යහ්යා සින්වාර්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *