මුඛ සහ පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහළට

මුඛ සහ පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළට

මුඛ සහ පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළට

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය – 2024 සමාරම්භක උත්සවය පසුගියදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විනි.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක්, මරණ 19,000ක් සිදුව ඇති බවත්, පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත්, 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපෙක්ෂා කරන බවද පැවසීය.

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලය යනු ලංකාවේ පිළිකා රෝග විශේෂඥ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සදහා කැපවී සිටින ප්‍රමුඛතම වෘත්තීය ආයතනයයි.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විශේෂඥයින් අතර, සහෝදරත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම, දැනුම යාවත්කාලීන කිරීම සහ සායනික භාවිතයන් වැඩිදියුණු කිරීමද අරමුණු කරගෙන විදේශ විශේෂඥයන් සහ දේශීය විද්වතුන් රැස‌කගේ දේශන, ප්‍රායෝගික අත්දැකීම් බෙදාහදා ගැනීම්, පිලිකා සම්බන්ධව මෙරට සිදු කරන නවතම පර්යේෂණ ප්‍රථිඵලද සමග “ක්ෂිතිජය පුළුල් කිරීම, ජීවිත වැඩි දියුණු කිරීම” “Expanding horizons, Enhancing lives” යන්න තේමා කර ගනිමින් මෙම සමාරම්භක සැසියට සමගාමීව ඔක්තෝබර් මස 10 දින සිට 14 දින දක්වා සම්මන්ත්‍රණ මාලාවක්ද පැවැත්වේ.

උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ පිළිකා රෝගය ගෝලීය සෞඛ්‍ය අභියෝගයන්ගෙන් එකක් ලෙස පවතින බවයි.

2022දී පමණක් ලොව පුරා මිලියන 20 කට ආසන්න ජනතාවක් පිළිකා රෝගයට ගොදුරුව ඇති බවත්, ඒ හේතුවෙන් මිලියන 9.7කට අධික පුද්ගල ජීවිත අහිමි වූ බවද පැවසිය.

අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද පිළිකා රෝගයේ වැඩිවන බරට මුහුණදී සිටින බවත්, පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද මරණ 19,000ක් වන බවද පැවසීය.

වයස, ස්ත්‍රී පුරුෂ භාවය හෝ පසුබිම පිළිකාව වෙනස් කොට සලකන්නේ නැති බව ඉහත සංඛ්‍යා ලේඛණ වලින් තහවුරු වන බවද පෙන්වා දෙන ලදි.

මෙරට පියයුරු, ගැබ්ගෙල, පෙනහළු සහ මහා බඩවැලේ පිළිකා රෝගී තත්ත්වයන් මරණ සඳහා ප්‍රමුඛව දායක වන බවත්, සැලකිය යුතු ලෙස පිරිමින් අතර මුඛ පිළිකා ඉහළම අගයක් ගන්නා බවත්, (ජනගහනයෙන් 100,000 කට රෝගීන් 16.5ක් ලෙස රෝගීන් 1990), පියයුරු පිළිකා කාන්තාවන් අතර ඉහළ අගයක් ගන්නා බවත් (ජනගහනයෙන් 100,000 කට රෝගීන් 27.3ක් ලෙස රෝගීන් 4555) පැවසිය.

මුඛ පිළිකා සහ පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බැවින් වැළැක්වීම, කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවද පෙන්වා දෙන ලදි.

මෙහිදී ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති ලෙස වෛද්‍ය උමාගෞරි සරවනමුත්තු මහත්මිය පත් කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *