තැපැල් ඡන්ද 24,268ක් ප්‍රතික්ෂේප වේ

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

එසේ ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 712,321ක් සුදුසුකම් ලබා ඇත.

මේ අතර එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා කියා සිටියේය.

සැප්තැම්බර් මස මුල් සතියේ දින තුනක කාලයක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ,

“තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම ඉදිරි දින කිහිපය තුළ ලබන මාසයේ මුල පවත්වන්න සුදානම් කරලා තියෙනවා. මේ මාසේ 26 වනදා ඒ අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ ආයතනවලට නිකුත් කරන්න සුදානම් කරලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 4 වෙනිදා සියලුම දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාල, කච්චේරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලීසිවල තැපැල් ඡන්ද දායකයින් සඳහා 4 වෙනිදා වෙන් කරලා තියෙනවා. 5 සහ 6 වෙනිදා අනෙක් සියලු ආයතන සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. එසේත් නොමැති වන අයට සැප්තැම්බර් 11 සහ 12 වෙනිදා ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරලා තියෙනවා.” යනුවෙනි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *