නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ උත්සව සහ වැඩසටහන් 30ක් නවත්වයි

පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ගම්පොළත් ජන හමුවක සාදයක් අත්හිටුවයි

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

කොමිසමට ලැබුණු පැමිණිලි අනුව, දේශපාලන මැදිහත්වීමෙන් ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාදීම් සහ පත්වීම් ලබාදීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙසේ නතර කෙරුණු බවද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පැවතීම සහ ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්නවීම යන කරුණු සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව මෙම පියවර ගෙන ඇත.

නිදහස් මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල දැඩි විමසිල්ලෙන් පසුවන බව පැවසූ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මකවීමට නිලධාරී කණ්ඩායම් සූදානමින් තබන බවද ප්‍රකාශ කළේය.

මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැන් දැන් පැමිණිලි ගලා එමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර ඡන්ද අල්ලස් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද මේ දිනවල විමසිල්ලෙන් පසුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *