ශ්‍රී ලංකා රජය COVID සිරුරු ආදාහනය වෙනුවෙන් සමාව ඉල්ලයි
COVID – 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්යය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.
COVID-19 හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශවල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මිය ගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රම වේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබ තිබිණි
මේ අනුව COVID-19ට ගොදුරු වූ මුස්ලිම් ජාතික පුද්ගලයින් 276 දෙනෙකුගේ මෘත දේහ ආදාහනය කර ඇති අතර, පසුව 2021 පෙබරවාරි මාසයේදී එවැනි පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් සහිතව භුමදානය කිරීමට අවසර ලබා දී තිබෙයි.
2021 ජූලි මාසයේදී ශ්‍රී ජයර්වධනපුර විශ්ව විද්‍යාලයේ සහාය ඇතිව එවකට ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ගංගා ජලය, රෝහල්වලින්, නිරෝධායන මධ්‍යස්ථානවලින් හා වෙනත් විභව ක්ෂේත්රයන්ගෙන් බැහැර කරනු ලබන අපජලය ඇතුළත්ව කොළඹ මහනුවර ජලජ පරිසරවල SARS- CoV-2 වෛරසය හඳුනා ගනු ලැබීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කෙරුණි.
එම අධ්‍යයනය මඟින් මතුපිට ජලයෙහි කිසිදු වෛරසයක් නොමැති බව අනාවරණය වී තිබෙයි.
2024 මාර්තු මාසයේදී ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංර්වර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජල තාක්ෂණය සඳහා චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ සහ ආදර්ශන මධ්‍යස්ථානය විසින් දෙවන අධ්‍යයනයක්ද සම්පූර්ණ කරනු ලැබ ඇති අතර, එමඟින් SARS-CoV-2 වෛරසය භූගත ජලය ඇතුළු ජල මූලාශ්‍ර වෙත සම්ප්‍රේෂණය වීමේ මූලික ප්රභවය මළ හා මුත්‍රා මඟින් මිස ආරක්ෂිත භූමදානයන් මඟින් නොවන බවට තහවුරු වී තිබෙයි.
ඒ අනුව, COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්යය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ සමාජ කොටස්වලින් ශ්‍රී ලංකා රජය විසින් සමාව අයැදීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංර්වධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.