ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂක විධිවිධාන සැලසීමට කමිටුවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂක විධිවිධාන සැලසීමට කමිටුවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂක විධිවිධාන සැලසීමට කමිටුවක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් හි පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එල්ල වූ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් මෙරට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව, ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීමෙන් පසුව අදාළ අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කිරීමට යෝජනා කර තිබෙනවා.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) නම් කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

එමෙන්ම ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නිලයට නොඅඩු මට්ටමේ පොලිස් නිලධාරියෙකු නම් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමටද එමඟින් යෝජනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම ආරක්ෂක විධිවිධාන බාධාවකින් තොරව සම්බන්ධීකරණය කිරීම සඳහා ඉහත සඳහන් කළ කමිටුව සහ නම් කරන ලද පොලිස් නිලධාරියා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සමීපව කටයුතු කළ යුතු බවද අදාළ යෝජනාවේ වැඩිදුරටත් සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *