වෘත්තීය සමිති 200ක් 8 සහ 9 යන දෙදින ලෙඩ නිවාඩු
වෘත්තීය සමිති 200ක් 8 සහ 9 දින ලෙඩ වෙයි
සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, සංවර්ධන නිලධාරී සේවා සංගමය, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන සේවයේ සේවක සංගමය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති 200 කට අධික ප්‍රමාණයක් සඳුදා දින (8) සහ අඟහරුවාදා (9) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ.
ඒ අනුව 8 වන සඳුදා දින සහ 9 වන අඟහරුවාදා යන දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වෙමින් සියලූම සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවසීය.
සේවා ශ්‍රේණි භේද නැතුව රුපියල් 25000ක දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්න වන බවත් ඔහු සඳහන් කළේය. ජීවන වියදම ඉහළ යාම, බදු බර වැඩිදීම මත ඇතිවූ ආර්ථික පීඩනය වෙනුවෙන් රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට පමණක් සීමා කරමින් රුපියල් 25000ක දක්වා දීමනාවක් වැඩිකර ඇති බවත් සූරියආරච්චි මහතා පැවසීය.
ජීවන වියදම හා බදු බර ඉහළ යාම සමස්ත රාජ්‍ය සේවකයින් විශ්‍රාමිකයන් පීඩාවට පත්ව ඇති බැවින් රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සහ විශ්‍රාමිකයන් සියලු අංශ නොසලකා ආණ්ඩුව ක්‍රියා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් විධායක සේවයේ ශ්‍රේණීන් සඳහා රුපියල් 25000ක් දක්වා දීමනා වැඩිකර ලබාදීමට ආණ්ඩුව පදනම් කරගත් කරුණු පදනම් කරගෙන සෙසු සේවකයින්ටත් ඒ සාධාරණය ඉටු කිරීම සඳහා රුපියා 25000ක දීමනාව ලබාදෙන ලෙෂ ඉල්ලීම් කරන බවත් සූරියආරච්චි මහතා කීවේය.
මේ හේතුවෙන් 8 සහ 9 දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැබෙන බවත් ඊට ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවන බවත් ඔහු තවදුරටත් පැවසීය.




