ගාසා තීරයේ යුද අපරාධ සම්බන්ධව ඊශ්‍රායලය වගකිව යුතුයි – මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනා සම්මතයක්
ගාසා තීරයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධව ඊශ්‍රායලය වග කිව යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය සිකුරාදා (05) යෝජනාවක් සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහෙත් ඊශ්‍රායලය එම යෝජනාව විකෘති ප්‍රකාශයක් බව කියමින් ප්‍රතික්ෂේප කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. මේ යෝජනාවට රටවල් 28ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, අමෙරිකාව සහ ජර්මනිය ඇතුළුව රටවල් 6ක් විරෝධතාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. තවත් රටවල් 13ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවද වාර්තා වේ. යෝජනාව සම්මත වීමෙන් පසු එම කවුන්සිලයේ නියෝජිතයන් රැසක් අත්පොළසන් දුන් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ගාසා තීරයේ යුද අපරාධ සහ මානුෂිකත්වයට එරෙහිව සිදු කරන ප්‍රහාර ඇතුළු බරපතළ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධව එම කවුන්සිලයේදී දැඩි අවධානය යොමු වී ඇති අතර, ඊශ්‍රායලයට සියලුම ආයුධ අලෙවි කිරීම නවත්වන ලෙසත් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිගු කාලයක් පුරා ඊශ්‍රායලයේ ජනතාව අත්හැර දමා ඇතැයිද, හමාස් සංවිධානය ආරක්ෂා කර ඇතැයිද මෙහිදී ඊශ්‍රායලයේ නිත්‍ය නියෝජිත මයිරව් අයිලොන් චෝදනා කර තිබේ.