විහාරස්ථාන 5කට පූජා භූමි සන්නස් පත්‍ර පිළිගන්වයි

විහාරස්ථාන 5කට පූජා භූමි සන්නස් පත්‍ර පිළිගන්වයි

විහාරස්ථාන 5කට පූජා භූමි සන්නස් පත්‍ර පිළිගන්වයි

ඓතිහාසික මෙන්ම පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 05ක් හා දේවාලයක් සඳහා පූජාභූමි සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (27) සිදු විය. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද භූමි ප්‍රදේශ, පූජා භූමි ලෙස නම් කරමින් එම පූජා භූමිවලට අදාළ සන්නස් පත්‍ර පිළි ගන්වන ලදි.

බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එහිදී පැවසීය.

ඉතිහාසය හදාරන සිසුන්ට මෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත් මෙරට ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

නිදහසේ අනෙකුත් ආගම් ඇදහීමට ඇති අයිතියට ගරු කළ යුතු අතර රට තුළ ආගමික ගැටුම් ඇති කිරීමට ඇතැමුන් දරන උත්සාහයන්ට හසු නොවී කටයුතු කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා මෙහිදී ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේය.

වෙල්ගම රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙතද පාතදුම්බර මිටියාවතේ මීගම්මන ග්‍රාමයේ පිහිටි, මීගම්මන රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති මානින්ගමුවේ විමල කීර්ති ශ්‍රී සුමනජෝති පියරතන නායක ස්වාමීන් වහන්සේ වෙතද පිරිනැමිණ.

තවද කොළොම්තොට ගංගොඩවිල ග්‍රාමයේ පිහිටි ගංගොඩවිල ශ්‍රී විජයාරාම රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී අමුණුමුල්ලේ ජිනරතන ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වූ අතර පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

එසේම මින්නේරිය මහසෙන් රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති මාතලේ උඩුගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේ වෙතද රුවන්වැල්ල, මැදගොඩ ග්‍රාමයේ පිහිටි මැදගොඩ ශ්‍රී සිද්ධ සත් පත්තිනි දේවාලය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එහි භාරකරු වන කේ.ඩබ්.එම්. අජිත් ශාන්ත බණ්ඩාර මහතා වෙතද පිරිනැමීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *