මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකට රු. මිලියනයක වන්දියක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක්

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය නොදීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය (20) තීන්දු කර තිබේ.

එමෙන්ම පෙත්සම්කාර සමාගමට මාසයක් ඇතුළත විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තමන් කළ ඉල්ලීමට බාධා සිදුකරමින් ඊට අනුමැතිය නොදී මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ බවට පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණේ වව්නියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමක් විසිනි.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට එරෙහිවය.

එම සමාගම පවසන්නේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තමන් 2016 මැයි මස අයදුම්පතක් ඉදිරිපත් කළ බවය.

එම ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු නමුත් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවමින් ඊට අනුමැතිය ලබා නොදුන් බවත් පෙත්සමේ සඳහන්ය.

පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළේය.

එමෙන්ම පෙත්සම්කරුවන්ගේ සූර්ය බලශක්ති විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය වහාම නිකුත් කරන ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කරනු ලැබීය.

එපමණක් නොව විදුලි ව්‍යාපෘතියට අවශ්‍ය බලපත්‍ර සුනිත්‍ය බලශක්ති අධිකාරි පනතේ විධි විධාන ප්‍රකාරව මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස එම අධිකාරියට නියෝග කෙරුණි.

එමෙන්ම මෙම බරපතළ සිද්ධියට අදාළව විමර්ශනයක් පවත්වා ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නිසි නීතිමය පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් අධිකරණය විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරනු ලැබීය.

අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් නීතිපතිවරයා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *