ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළව අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද දින (12)
ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සංශෝධනය කිරීමට ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

ඒ අනුව පෙත්සම සලකාබලන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර නොගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන් විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කළ නියෝගයේ සඳහන් වෙයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු ආකාරය වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ සඳහන් කර ඇති බවය.

ඒ අනුව මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මේ මස 27 වනදාට පෙර ගොනුකරන ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළ අධිකරණය, ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ඔක්තෝබර් මස 12 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 19 වනදා කැඳවන ලෙසද අධිකරණය විසින් නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *