සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියලු උපකාරක පන්ති පැවැත්වීම මෙම මස 23වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජුනි මස 08වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව 23 වනදා සිට විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම එම පන්ති මෙහෙයවීම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.

එමෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

කිසියම් තැනැත්තෙකු අදාළ නියෝග කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම්දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම්දෙයි.

මේ අතර මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්‍ෂකයන් ඒ සඳහා අයදුම්පත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු බවත් ඉල්ලුම්පත යොමු කළද මෙතෙක් ජාතික හැදුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන් එම දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ යුතු බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය.

ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති අයදුම්කරුවන් නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරියාවරයා සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කළ යුතු බව කී ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා තහවුරු කිරීමේ ලිපිය නොලැබු අයදුම්කරුවන් 0115226100 හෝ 0115226126 යන දුරකථනවලට ඇමතීමෙන් විමසීම් කළ හැකි බවද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *