ICCය පළමු වරට සංවිධාන කරන 19න් පහළ බාලිකා 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙයි

ICCය පළමු වරට සංවිධාන කරන 19න් පහළ බාලිකා 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙයි

ICCය පළමු වරට සංවිධාන කරන 19න් පහළ බාලිකා 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙයි

අවුරුදු 19න් පහළ බාලිකාවන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධාන කරන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (14) දකුණු අප්‍රිකාවේදී ආරම්භ වෙයි.

මේ තරගාවලිය මුලින් 2021 වසරේ ජනවාරියේදීත් පසුව එම වසරේ දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කළ අතර, එවකට පැවති කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසර දක්වා කල් දැමීමට අයිසීසීය කටයුතු කළේය.

සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබා ගත් අතර, අමෙරිකාව එම කලාපයේ එකම කණ්ඩායම බැවින් ඔවුන්ටද නිතරගයෙන්ම ස්ථානයක් හිමි විය.

එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය, ඉන්දුනීසියාව සහ රුවන්ඩාව සුදුසුකම් ලැබීමේ කලාප තරගාවලි ජය ගනිමින් මේ තරගාවලියට එක් විය. රුවන්ඩාව ඕනෑම මට්ටමේ අයිසීසී ලෝක කුසලාන තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර, අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් අතුරින් ඇෆ්ගනිස්තානය මේ තරගාවලියට කණ්ඩායමක් එක් කර නැත. තලේබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු එරට තුළ කාන්තා ඉසව් සඳහා තහංචි පැනවූ අතර, මේ තරගාවලියට කණ්ඩායමක් එක් නොවීම සම්බන්ධයෙන් අයිසීසීය සිය අප්‍රසාදය පළ කර තිබේ.

රටවල් 16ක් එක් වන තරගාවලිය තරග 41කින් සමන්විත අතර, අවසන් මහා තරගය මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

මූලික වටයේදී කණ්ඩායම් 16 කාණ්ඩ 4කින් තරග වදින අතර, එහිදී ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩයේ මුල් ස්ථාන 3 දිනා ගන්නා කණ්ඩායම් පළමු කාණ්ඩයෙන් සුපිරි හය වටයට එක් වෙයි. ‘සී’ සහ ‘බී’ හොඳම කණ්ඩායම් 6 දෙවැනි කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය. එම තරගාවලිය කොටස් දෙකකින් සමන්විත වන අතර, එම වටයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 2 දිනා ගන්නා කණ්ඩායම් ජනවාරි 27 වැනිදා පැවැත්වෙන අවසන් වටයට පිවිසෙනු ඇත. අවසන් පූර්ව සහ අවසන් තරගයට අතිරේක දිනයක් බැගින් ද වෙන් කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වන අතර, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ අමෙරිකාව එම කාණ්ඩයේ තරග වදියි. (14) දිනයේම තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල අමෙරිකාවට එරෙහිව තරග බිමට පිවිසෙන අතර, 16දා බංග්ලාදේශයට එරෙහිවත්, 18දා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එක් වන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නගේ නායකත්වයෙනි. ශෂිකලා සිරිවර්ධන කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කරන්නීය.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයකු වන දුලිප් සමරවීර සහ පළමු පෙළ ක්‍රීඩකයකු වන නුවන් ශිරෝමන්ගේ සහභාගිත්වය ද මේ තරගාවලියට ලැබී තිබේ. ඒ දුලිප් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සහ ශිරෝමන් ඉන්දුනීසියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමිනි.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා සංචිතය – විශ්මි ගුණරත්න (නායිකාව), දහමි සෙනෙත්මා, උමායා රත්නායක, රශ්මි නේත්‍රාංජලී, රශ්මිකා සෙව්වන්දි, දෙව්මි විහංගා, මනුදි නානායක්කාර, සුමුදු නිසංසලා, පමෝදා ශයිනි, විදුෂිකා පෙරේරා, දුලංගා දිසානායක, රශ්මි සංජනා, නෙත්මි සේනාරත්න, හරිනි පෙරේරා, විහාරා සෙව්වන්දි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *