බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර මුදානොගත් ප්‍රදේශ බවට පත් වෙලා

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30කගේ තාවකාලික පන්ති තහනමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30කගේ තාවකාලික පන්ති තහනමක්

හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර මුදානොගත් ප්‍රදේශ බඳු වී ඇති බවත්, මෙම විශ්ව විද්‍යාලය තුළ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කර නිදහසේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකි තත්වයක් නිර්මාණය කර දෙන ලෙස තමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළ බවත් එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.

මෙහි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට බුදුන් වැඳීම නයාට අඳුකොළ මෙන් බව කී මහෝපාධ්‍ය හිමියෝ භික්‍ෂූන් වහන්සේලා 350ක් පමණ සිටින නේවාසිකාගාරයේ බුදු මැදුරෙහි බුද්ධ පූජාව තැන්පත් කරන්නේ නේවාසිකාගාර පාලක ලෙස කටයුතු කරන ගිහියෙකු බව ද සඳහන් කළහ.

එහි නේවාසිකාගාරවලට නේවාසිකාගාර පාලකවරුන් තිදෙනාට මෙන්ම කිසිවකුට ඇතුළුවීමට ශිෂ්‍යයින් ඉඩනොදෙන බව කී උන්වහන්සේ එහි සිදුවන දේ ගැන තොරතුරක් හෝ ලබාගත නොහැකි තත්වයක් පවතින බවද කීහ.

උපාධිය සම්පූර්ණ කර විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා පවා රැවුල් කොණ්ඩා වවාගෙන නේවාසිකාගාරවල රැඳී සිටින බවත්, ඇතැම් ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල නිවාඩු කාලවලදීත් නේවාසිකාගාරවලින් පිටව නොයන බවත් කී නෙළුවේ සුමනවංශ හිමියෝ උන්වහන්සේලාට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම්දීම් කළත් ඒවා පිළිනොගන්නා බව ද ප්‍රකාශ කළහ.

එමෙන්ම නේවාසිකාගාර සිසුන් රාත්‍රී 12.00 පමණ වන තුරු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ඝෝෂාකාරී ලෙස හැසිරෙන බවට අවට පදිංචිකරුවන්ගෙන් පවා තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, එය නවත්වන්නැයි දැනුම් දුන් විට විශ්ව විද්‍යාල සංස්කෘතිය අනුව තමන්ට එසේ කළ හැකි බව පවසන බවත් උන්වහන්සේ පැවසූහ.

වල්පොල ශ්‍රී රාහුල හිමියන් වෙනම පනතක් මගින් ස්වාධීන විශ්ව විද්‍යාලයක් ලෙස මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කළේ ආරාමික පරිසරයක් තුළ භික්‍ෂු අධ්‍යාපනය ලබා දී ධර්ම දූතයන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් වුවත් මේ වන විට එහි එවන් වටපිටාවක් නැතැයි ද මහෝපාධ්‍ය හිමියෝ සඳහන් කළහ.

තමන් මෙහි සිටින ශිෂ්‍යයන්ට බුද්ධ වන්දනාවට සහභාගී වන්නැයි දන්වා දැන්වීමක් යොමු කළ විට කුපිත වූ ශිෂ්‍යයන් පොලු මුගුරු රැගෙන පැමිණ නේවාසිකාගාර පාලක හිමියන්ගේ කාර්යාලය වටලා ‘බුදුන් වඳින්න ආවොත් බාවනවා’ යැයි පවසා තිබෙන බවත්, ඔවුන්ගෙන් එවන් හැසිරීමක් කිසිසේත් බලාපොරොත්තු නොවූ බවත් උන්වහන්සේ කීහ. එමෙන්ම එහි ඇති බෝධි අංකුරයක් ඉවත්කරන ලෙස ද ශිෂ්‍ය සංගමය තමන්ට දැනුම් දී ඇතැයි සුමනවංශ හිමියෝ සඳහන් කළහ.

එමෙන්ම මෙහි නවක වදය පවතින බවට නැගෙන චෝදනා ද සත්‍ය බව කී මහෝපාධ්‍ය හිමියෝ තමන්ටද සිසුන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි පැවසූහ.

මෙම වසරේ දී විශ්ව විද්‍යාලයට බඳවාගත් සිසුන්ගෙන් 17 දෙනෙක් නේවාසිකාගාරවලින් ඉවත්ව වෙනත් ආරක්‍ෂිත නේවාසිකාගාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් 40 දෙනා ද නේවාසිකාගාරවල පවතින ඝෝෂාකාරී බව ගැන තමන්ට දැනුම් දී ඇති බවත් කී උන්වහන්සේ මෙම තත්වය නිසා විදෙස් සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත්වයෑමේ අවදානමක් පවතින බව ද ප්‍රකාශ කළහ.

විශ්ව විද්‍යාලය තුළ හා නේවාසිකාගාරවල මෙම කටයුතු මෙහෙයවන්නේ ශිෂ්‍ය සංගමයේ රැකවරණය ලබන 50 ක 60ක පිරිසක් බවත් ඔවුන් නිසා අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් සිටින සිසුන්ගේ අධ්‍යාපනයට ද බාධා එල්ල වන බවත් සුමනවංශ හිමියෝ කීහ.

මෙම තත්වය වළක්වා විනයගරුක පරිසරයක් ඇති නොකළහොත් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අරමුණු ඉටුනොවනු ඇතැයි ද මහෝපාධ්‍ය හිමියෝ වැඩිදුරටත් කීහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *