මිල්ලනිය සිද්ධියේ විදුහල්පතිවරිය සහ පොලිස් නිලධාරීන්ව ළමා අධිකාරියට කැඳවයි
හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරියගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය (කරන්ට්) වැදීමට සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජාතික ළමාරක්ෂක අධිකාරිය ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම විදුහල්පතිවරියටද ගුරුවරියකට සහ පොලිස් නිලධාරීන් තිනෙකුටද ඒ ආයතනය හමුවේ (08) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීම සඳහා ඔවුන් මෙසේ කැඳවා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට (08) කරුණු වාර්තා කරන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර සිද්ධියේදී පොලිස් නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ (S.I.U) නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති.
එම කණ්ඩායම දැනටමත් විමර්ශන ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත. මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක්ද සිද්ධිය ගැන විමර්ශන පවත්වයි.