USAID ආධාරයක් ලෙස මෙට්‍රික් ටොන් 36,000ක මඩ පොහොර ලංකාවට ලබා දෙයි

වී වගාවට අවශ්‍ය TSP (මඩ පොහොර) පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආධාරයක් වශයෙන් අපේ රටට ලබා දීමට USAID එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වී වගාවට අවශ්‍ය යුරියා පොහොර, බණ්ඩි පොහොර හා ත්‍රිත්ව සුපිරි පොහොර හෙවත් මඩ පොහොර ලබා දීමට කටයුතු කිරීමේ දී රටේ ආර්ථික අර්බුදය දැඩිලෙස බලපෑමක් එල්ල කළත්, මේ වනවිට වී හා බඩඉරිඟු වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට රජයට හැකි වූ බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

2022/23 මහ කන්නයට අවශ්‍ය පොහොර බෙදාහැරීම සම්බන්ධව ප්‍රගති සමාලෝචන රැස්විමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර එම අවස්ථාවට නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මෙවර මහ කන්නයේ දී මුලික පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර ලබා දීම සඳහා මුඳල් ප්‍රතිපාදන සොයා ගැනීමේ දී ගැටළුවකට මුහුණ පෑමට සිදුවිය. නමුත් TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආධාරයක් වශයෙන් අපේ රටට ලබා දීමට USAID එකඟතාවය පළ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද එම පොහොර මෙවර මහ කන්නයේ දී ලබා ගැනීමේ අපහසුතාවයක් පවතී. TSP හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර නිපදවනු ලබන්නේ යුක්රේණය හා රුසියාවේ බැවින් දැනට පවතින ගැටළුකාරී බව නිසා ඔවුන් එම පොහොර අපනයනය අත් හිටුවා තිබේ.

එසේ වුවත් එම ත්‍රිත්ව සුපිරි පොහොර මීලඟ යල කන්නයේ දී ගොවීන්ට නොමිලයේ ලබා දීමට සූදානම් බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයින පුරා සිදු කරන ලද පාංශු පරික්ෂණ අනුව නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක ‍කිහිපයක හැරෙන්නට දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්ක සියල්ලේම පාහේ පස්වල ප්‍රමාණවත් තරම් පොස්පරස් අඩංගු වන බව තහවුරු වී ඇත. එමනිසා සමහර ගොවි සංවිධාන යැයි කියා ගන්නා පිරිස් කුමන චෝදනා එල්ල කළත් Soil Test Basis යටතේ පොහොර ලබා දීමට පියවර ගැනීම මත අවම පොහොර ප්‍රමාණයක් යොදා ගැනීම මත අස්වැන්නට සිදුවන බලපෑම අවම කර ගත හැකි බව අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

පාංශු පරීක්ෂණ අනුව වයඹ හා උතුරු මැද පළාතේ පස්වල පොස්පරස් අධි ප්‍රමාණයක් තිබේ. නැගෙනහිර පළාතේ යම් අවම තත්ත්වයක් ඇතත් රොක් පොස්පේට්වලින් එම ප්‍රමාණය ආවරණය කර හැකිය. එමෙන්ම අනිකුත් දිස්ත්‍රික්කවල මධ්‍යම ප්‍රමාණයෙන් පස්වල පොස්පරස් අන්තර්ගත වන බව හෙළි වී තිබේ.

එමනිසා මෙවර මහ කන්නයේ දී වී වගාවේ සැළකිය යුතු ලෙස අස්වනු අඩු වීමක් සිදු නොවන අතර 05%ක් හෝ 10%ක අතර ප්‍රමාණයේ අස්වනු අඩුවීමක් සිදුවිය හැකි බව අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වු දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *