ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඩොලර් මිලියන 42.3ක හිඟයක් – ලෝක ආහාර වැඩසටහන

මෙරට මිලියන 06ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් - ලෝක ආහාර වැඩසටහන

මෙරට මිලියන 06ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් - ලෝක ආහාර වැඩසටහන

මෙරටට මසකට ආහාර ආනයන සඳහා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 130 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. එසේම පෝෂ්‍යදායි ආහාර සහ එළවළු මිල, ආර්ථික අර්බුදය ඇති වීමට පෙර තිබූ මිලට වඩා දෙගුණයක සිට පස් ගුණය දක්වා වැඩි වී එම වාර්තාවේ සඳහන් වේ.

ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ජපානය, නවසීලන්තය යන රටවල රජයන් සහ එක්සත් ජාතීන්ගේ හදිසි ප්‍රතිචාර අරමුදල, පුද්ගලික අංශයේ හවුල්කරුවන්, බහුජාතික පරිත්‍යාගශීලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 20.74 මුදලක් ලෝක ආහාර වැඩසටහනට පරිත්‍යාග කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

නමුත් ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4කට ජූලි සිට දෙසැම්බර් දක්වා සහාය වීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 63ක මුදලක් ලෝක ආහාර වැඩසටහනට අවශ්‍යව ඇති බවත් ඒ අනුව තවත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 42.3ක හිඟයක් පවතින බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.

ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩවල මිල ජනතාවට බරක් වීම හේතුවෙන් ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් ආහාර ද්‍රව්‍ය,පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන් පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙළඳසැල් වෙත ගමන් කරන වාර ගණන වැඩි වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය ඉදිරි මාස 12 සඳහා ඉන්ධන ආනයනය සීමා කිරීම හේතුවෙන් දෛනික අවශ්‍යතා සඳහා පෙට්‍රල් ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට නොහැකි වීමට ඉඩ ඇතැයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියාවක් සොයා ගැනීමට හෝ රැකියාවට යාමට ඇති හැකියාව අවම කර ඇති අතර එය පාසැල් මෙන්ම රාජ්‍ය සේවයද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට බාධා එල්ල කර ඇති බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

තවමත් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3කට ආහාර සුරක්ෂිතතාවයක් නොමැති බවත් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය. එසේම ශ්‍රී ලාංකිකයන් මිලියන 6.7ක් පිළිගත හැකි ආහාර වේලක් නොගන්නා බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *