වසරේ මුල් මාස පහ තුල රැකියා සඳහා විදේශ ගත පුද්ගලයන් 105821ක්; 2021 සාපෙක්ෂව 286%කින් ඉහළට

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

මේ වසරේ මුල් මාස පහ තුල මේ දක්වා ස්වයං මාර්ගයෙන් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 105821 දෙනකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එය පසුගිය 2021 වසරේ මුල් මාස පහට සාපෙක්ෂව සියයට 286 කින් ඉහළ යාමකි. කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ දත්ත වාර්තාවලට අනුව 2021 මුල් මාස 5 තුල 27360 දෙනෙකු රැකියා සදහා පිටව ගොස් ඇති අතර එය මේ වසරේ 78461 කින් ඉහලයාමකි.

2022 මුල් මාස 5 තුල මේ වන තෙක් ස්වයං මාර්ගයෙන් (විදේශ රැකියා නියෝජිත මාර්ගයෙන් තොරව) රැකියා සඳහා විදේශ ගතවී ඇති ප්‍රමාණය 67156 කි. ඉන් පිරිමි ශ්‍රමිකයන් 30040 ක් හා කාන්තාවන් 17121 ක් ඇතුලත් වේ. එසේම මේ වසරේ මේ වනතෙක් බලපත්‍රලාභි විදේශ රැකියා නියොජිතායතන මාර්ගයෙන් කාන්තාවන් 25224 ක් හා පිරිමි පුද්ගලයින් 13441ක් රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර එහි සමස්ථ අගය 38665 ක් ලෙස පෙන්නුම් කරයි. ඒ අනුව සමස්ථ ප්‍රමාණය 105821 කි.

ස්වයං මාර්ගයෙන් වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 19133කි. කුවේට් රාජ්‍යයට 12701 ක්ද එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 11000ක් හා දකුණු කොරියාවට 1754 දෙනෙකු රැකියා සඳහා පිටව ගොස් ඇත.

මේ වන විට විදේශ රැකියා කාර්යාංශය සම්බන්ධයෙන් බොහෝ පිරිස් විශාල වශයෙන් උනන්දුවක් දක්වන අතර විදේශ රැකියා ලියාපදිංචි කිරිමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහසුකම් රැසක් සළසා තිබේ. පසුගිය කාලයේ දි රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගන්නා රටවලට අවශ්‍යතාවය පරිදි කොවිඩ් මර්දන එන්නත් කිරීම හා නිරෝධායන පහසුකම් අවස්ථා සැලසීම, පුහුණු අවස්ථා වැඩි කිරිම, මාර්ග ගත ලියාපදිංචි කිරීම, වැනි සාධනිය පියවරයන් මගින් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්ධනයට පියවර ගෙන තිබේ. එමෙන්ම විදේශ රැකියාවල නිරත වූවන්ගේ ආරක්ෂාව හා සුභසාධන පහසුකම් තානාපති කාර්යාල මට්ටමින් සැලසීමද සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.

විදේශ රැකියා ලාභින්ගේ කටයුතු පහසු කිරිම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් නවතම ජංගම යෙදවුමක්ද පසුගියදා හදුන්වා දුන්නේය. එමගින් මාර්ග ගත ක්‍රමයට පැමිණිළි භාරගැනීම, විදේශ රැකියා හා බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන මෙන්ම තමන්ගේ ලියාපදිංචි තොරතුරු ඇතුළු පහසුකම් රැසක් ලබා ගැනීමට හැකිවේ. එසේම කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය මගින් විදේශ රැකියා සම්බන්ධ බොහෝ කටයුතු ඉතා පහසුවෙන් හා ඉක්මනින් සිදුකර ගැනිමට පහසුකම් සලසා තිබේ. මේ වනවිට රටේ පවතින ආරථික තත්වය හේතුවෙන් තරුණ පිරිස් විශාල වශයෙන් රැකියා සඳහා විදේශ ගතවිමේ ප්‍රවනතාවයක්ද පෙන්නුම් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව මේ වසර මුල් මාස 3 තුල විදේශ රැකියා ලාභින් විසින් සිදුකළ ප්‍රේෂණ ඇමෙරිකන් ඩොලර් මිලියන 783 ක් වේ. මහන්සියෙන් උපයන මුදල විශ්වාසවන්තව තම ඥාතීන්ට යොමු කිරිමට නම් මෙරට වානිජ බැංකු හරහා තම ප්‍රේෂණයන් එවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *