සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපතිගෙන් ඇරයුම්

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

2020 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂ නියෝජනය කර, මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ නායකයින් හා නියෝජිතයන් සමග (29) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරිණ. පක්ෂවල නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ වූ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහාය දක්වන්නේ නම් තමා ඊට එකඟතාව පළ කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සාකච්ඡාව සඳහා සහභාගී වු නියෝජිතයන්ගෙන් පස්දෙනෙකු නම් කිරීමටද තීරණය කරනු ලැබීය. පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

– ජනාධිපති මාධ්‍ය අංශය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *