ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පාසල් ක්‍රිකට් තරගාවලි සඳහා වයස් සීමා වෙනස් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පාසල් ක්‍රිකට් තරගාවලි සඳහා වයස් සීමා වෙනස් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පාසල් ක්‍රිකට් තරගාවලි සඳහා වයස් සීමා වෙනස් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙම වසරේ සිට වයස අවුරුදු 19න් පහළ, 15න් පහළ සහ 17න් පහළ තරගාවලි සඳහා අදාළ වයස් සීමා වෙනස් කර තිබේ. ඒ අනුව ඉහත කී වයස් සීමා ත්‍රිත්වය සඳහා මෙම වසරේ සැප්තැමිබර් මස 01 වැනිදා කඩඉම් දිනය ලෙස නම් කර තිබේ. මීට පෙර එම තරගාවලි ත්‍රිත්වයට අදාළව ක්‍රීඩකයන්ගේ වයස් සීමාව සලකා බැලුවේ ජනවාරි මස 01 වැනිදා කඩඉම් දිනය ලෙස සලකමිනි.

කෙසේ වෙතත් මේ හේතුව නිසා 2024 වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට තෝරා ගැනීමට අදාළ තේරීම් තරගවලට, 17න් පහළ ක්‍රීඩකයන්ට 19න් පහළ ක්‍රීඩා කිරීමට සිදුවී ඇතැයි අනාවරණය වේ. එමෙන්ම මෙම තත්ත්වයට මුහුණ දීමට මෙරට වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයන්ටද සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් 15න් පහළ සහ 17න් පහළ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දැඩි අපහසුතාවටද පත්ව ඇතැයි වාර්තා වේ. මෙම සංශෝධනය හේතුවෙන් පසුගිය වසරේ 15න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට 17න් පහළ ක්‍රීඩා නොකරම මෙම වසරේදී 19න් පහළ ක්‍රීඩා කිර්මට සිදුවී ඇති බවත්, එය දැඩි අසාධාරණයක් බව ඇතමුන් චෝදනා කරති.මෙහි බරපතළම අසාධාරණය සිදුවනුයේ පසුගිය වසරේ 15න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ටයි.

ඊට හේතුව වනුයේ ඔවුන්ට 17න් පහළ ක්‍රීඩා නොකරම මෙම වසරේ පැවැත්වෙන 19න් පහළ තරගාවලියට ක්‍රීඩා කිර්මට සිදුවීමත්, ඊට අමතරව එය 2024 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ තෝරා ගැනීම් වලටද සෘජුව බලපෑමත් නිසාය. ඔවුහු තවදුරටත් චෝදනා කර සිටිනුයේ,වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයන්ට තමාට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් සමග ලෝක කුසලානයේ ස්ථාන දිනාගැනීම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදුවීම අසාධාරණයක් බවයි.

මේ හේතුව නිසා පාසල් කිහිපයක්ම මෙම සංශෝධනය ලබන වසරේ සිට සිදුකරන ලෙස ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. එහෙත් මේ වන විටත් ඊට නිසි විසඳුමක් ලැබී නොමැත. මේ අතර, මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා ඇත්තේ, ලබන මැයි මස 02වැනි සතිය දක්වා අදාළ වයස් කාණ්ඩවලට ලියාපදිංචි නොවුණු ක්‍රීඩකයන්ට ලියාපදිංචි වීමේ අවස්ථාව මේ වන විට සලසා දී ඇති බවයි. අප මේ සම්බන්ධයෙන් පාසල් ක්‍රිකට්. සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතාගෙන් විමසීමක් කිර්මට දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තද, ඔහුගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොවීය. කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ වයස් සීමාව මෙම වසරේ සිට වෙනස් කළ බවත්, අදාළ වයස් කාණ්ඩවලට ලියාපදිංචි නොවුණු ක්‍රීඩකයන්ට පට ලියාපදිංචි වීමේ අවස්ථාවද මේ වන විට සලසා දී ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාසල් ක්‍රිකට් සංගමයේ ඉහළ නිලධාරීයා, “අපි මෙම වසරේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ තරගාවලි ජුනි මාසයේදී පවත්වන සැලසුම් කරලා තිබෙනවා. මෙම වසරේ සිට වයස් සීමා වෙනස් කළ නිසා අලුතින් ක්‍රීඩකයන් හදාගන්න කියලා අපි පාසල්වලට දන්වලා තිබෙනවා. අපි වයස් සීමාව වෙනස්කළේ හැම පාරම අපිට පැමිණිලි එනවා වයස වැඩි ක්‍රීඩකයන් ක්‍රීඩා කළා කියලා. ඒ වගේම එය අනෙකුත් ක්‍රීඩකයන්ට අසාධාරණයක් බවත් චෝදනා කෙරුණා. සමහර පාසල් ඉල්ලීමක් කර තිබුණා මේ අවුරුද්දේ මේ වෙනස්කම නොකර, ලබන අවුරුද්දේ වෙනස් කරන්න කියලා. ඉතින් ලබන අවුරුද්දේ කළත්, මේ අවුරුද්දේ කළත් යම් කොටසකට වැඩි වයස් කාණ්ඩයක ක්‍රීඩා කරන්න වෙනවා. එනිසා පාසල් ක්‍රිකට් සංගමය විදිහට අපි තීරණය කළා මේක කල් දාන්නේ නැතුව මේ අවුරුද්දේ සිටම සංශෝධනය කරන්න. අපි දන්නවා මේ වන විට 15න් පහළ ක්‍රීඩා කරන්න ළමයි අඩුයි කියලා. අපි දැනුම් දීලා තියෙනවා අලුතින් ක්‍රීඩකයන් අරගෙන ලියාපදිංචි කටයුතු කරන්න කියලා” යනුවෙන් පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *