සාමකාමී විරෝධතාවල නිරතවන ඕනෑම තරාතිරමක පුද්ගලයන්ට ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහය

නීතීඥ සංගමයට වැඩබලන සභාපතිවරයෙක්
සාමකාමී විරෝධතාවල නිරතවීම හේතුවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහය ලබා දීමට තීරණය කර ඇති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමය එම පුද්ගලයන් වෙනුවෙන් නඩු අවසන් වනතුරු නොමිලේ අධිකරණවල පෙනී සිටීමටද තීරණය කර ඇත.
සාමාන්‍ය ජන ජීවීතය පවත්වාගෙන යෑමට නොහැකි වන ආකාරයට රට තුළ මතුව ඇති අර්බුදකාරි තත්වය සහ ජනාධිපතිවරයා විසින් හදිසි නීතීය පැනවීම නිසා ඇතිවන ගැටලු සාකච්ඡා කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමය කැඳවනු ලැබූ හදිසි මහ සභා රැස්වීමක දී සාමකාමී මහජන විරෝධතා පැවැත්වීමට ඇති අයිතිවාසිකම උපරිම ලෙස පිළිගන්නා බවට එහි සාමාජිකයන් යෝජනා සම්මත කරගත් බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ රසික සංජීව මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සාමකාමි විරෝධතාවල නිරතවීම හේතුවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහාය ලබා දීමටත් ඔවුන් වෙනුවෙන් නඩු අවසන් වනතුරු නොමිලේ අධිකරණවල පෙනී සිටීමටත් එම හදිසි මහ සභා රැස්වීමේ දී තීරණය කර ඇත.
මේ සඳහා හදිසි අවස්ථා රෙගුලාසි සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම ඇති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ සංජය ගමගේ, පී.ඩී. පෙරේරා, ඇන්ජලෝ බෙනඩික්ට, සුගත් හෙට්ටිආරච්චි, සරත් සොයිසා, මනෝජ් නානායක්කාර, පාලිත සේනාරත්න, සුසන්ත කුමාර යන නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ද පත් කර තිබේ. සාමකාමි විරෝධතාවල නිරතවීම හේතුවෙන් අයුතු සහගත ලෙස අත්අඩංගුවට ගනු ලැබු හෝ නීතීය හමුවට පැමිණ වූ පුද්ගලයන්ට 071 8316948 සහ 070 3302025 යන දුරකථන අංකවලින් මෙම නීතීඥ කමිටුව සමග සම්බන්ධ විය හැකි බවද එම සංගමය පවසයි.