විදේශයන්හි රැකියාවලට ගිය වතු කම්කරු කාන්තාවන් 87,000ක් – කම්කරු අමාත්‍ය

විදේශයන්හි රැකියාවලට ගිය වතු කම්කරු කාන්තාවන් 87,000ක් - කම්කරු අමාත්‍ය

විදේශයන්හි රැකියාවලට ගිය වතු කම්කරු කාන්තාවන් 87,000ක් - කම්කරු අමාත්‍ය

වතු හාම්පුතුන් නිසි ලෙස නොසැලකීම නිසා වතු කම්කරු කාන්තාවන් අසූ හත් දහසක් (87,000) විදේශයන්හි රැකියාවලට ගොස් ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

වතු සේවකයන්ට අසාධාරණ ලෙස සැලකීම වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බවද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වතුකම්කරුවන්ට සිදුවන්නේ යැයි පැවසෙන අසාධාරණකම් පිළිබඳ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වතු සමාගම් නියෝජිතයන් හා වෘත්තීය සමිති නායකයන් සමඟ කම්කරු දෙපාර්තමේන්තුවේදී (29) පැවැති සාකච්ඡාවකදීය.

වතු සමාගම් පාලකයන් වතු කම්කරු ජනතාවට විවිධ අසාධාරණකම් හා පීඩාවන් සිදුකරන බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයි පැවසූ අමාත්‍යවරයා වතු කම්කරු ජනතාවට කම්කරු නීති රීතිවලට අනුකූලව යහපත් සේවා තත්වයක් උදාකරදීමට නව නීති ගෙන ඒමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ වතු සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ, සමහර තැන්වල එවැනි කම්කරු නීතී උල්ලංඝනයවීම් සිදුවන්නේ යැයි තමන්ද පිළිගන්නා බවයි. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ගැන පරීක්ෂණ පවත්වා පියවර ගැනීමට කිසිසේත්ම විරුද්ධ නොවන බවද ඔවුහු සඳහන් කළහ.

එසේම වතු වෘත්තීය සමිති වෙනුවෙන් සේවකයන්ගේ සාමාජික මුදල් එම වෘත්තිය සමිති ගිණුම්වලට බැර කිරීම මේ වනවිට වතු සමාගම් පැහැර හැර ඇති හෙයින් එම සාමාජික මුදල් වෘත්තීය සමිතිවලට බැර කිරීම තහවුරු කෙරෙන නව නීතියක් ගෙන එන බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා වතු කම්කරුවන්ගේ සුභසාධනය සහ ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාවය සඳහා සුවිශේෂි නව පනතක් ගෙන ඒමටද කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *