අමාත්‍ය මණ්ඩලය පත්කිරීම නීතිවිරෝධී: කැබිනට්ටුවට එරෙහිව පෙත්සමක්

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08ක් දිවුරුම් දෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08ක් දිවුරුම් දෙයි

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනුමත කර ඇති සංඛ්‍යාව ඉක්මවා යමින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත්කිරීම නීතිවිරෝධී බවට තීරණය කරන ලෙස ඉල්ලා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

නීතියට පටහැනිව කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම තුළින් තමාගේත්, ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන ලෙසත්, අමාත්‍ය මණ්ඩලය ක්‍රියාකාරීත්වය වළකාලන අතුරු නියෝගක්ද නිකුත් කරන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

නීතීඥ දර්ශන වේරදූවගේ මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ. පෙත්සම්කරු වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකි.ජාතික ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වන්නෙකි.

පසුගිය ජූලි 07 වැනිදායින් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.1 වගන්තිය උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා විසින් නියමිත ප්‍රමාණය ඉක්මවා කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.1 (ආ) වගන්තිය අනුව කැබිනට් මණ්ඩලය සදහා පත් කළ හැකි අමාත්‍යවරු සංඛ්‍යාව උපරිමය 30ක් වේ. එම විධි විධාන උල්ලංඝනය කරමින් බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරයත්, මහින්ද රාජපක්ෂ මහතාට සැලසුම් අමාත්‍ය ධූරයත් ඉකුත්දා පිරිනැමූහ.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.1 (ආ) වගන්තිය අනුව රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළ හැක්කේ 42ක් පමණකි. එම ප්‍රතිපාදනවලට පටහැනිව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, දිලුම් අමුණුගම, චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ (කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව) යන මහත්ම මහත්මීන් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමෙන් රාජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව 44 දක්වා වැඩි වී තිබේ. ඒ අනුව නීතීයේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවනි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (1) වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද, මෙම පෙත්සම විභාගයට ගැනීමට විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවට පමුණුව වන ලෙසද, අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, ව්‍යවස්ථාවට පටහැනි පත් කර ඇති කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍ය ධූරයන්හී කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *