GSP+ සම්බන්ධයෙන් සොයා බැලීමට යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් දින 10ක නිල සංචාරයක
ඇගලුම් නිෂ්පාදන, ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනය කිරීම සදහා යුරෝපා සංගමය මෙරටට ලබා දෙන ජී.එස්.පී ප්ල්ස් තීරු බදු සහනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් දින 10ක නිල සංචාරයක් සදහා එළඹෙන 27 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.
මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අද්මිරාල් ජයනාත් කොළඹගේ විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි. මෙලෙස ලංකාවට පැමිණෙන යුරෝපා කොමිසමේ නියෝජිතයින් දිවයිනේ රැදී සිටිමින් ආණ්ඩුවේ ප්‍රධානීන්, දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා ගනු ඇත. මින් අනතුරුව ලංකාවට තවදුරටත් ජීඑස්පී ප්ලස් බදු සහන ලබා දිය යුතුද නැත්ද යන්න පිළිබඳව වාර්තාවක් ඔවුන් විසින් යුරෝපා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතය.
මානව හිමිකම් පිළිබඳ විවිධ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට එකඟ වීමෙන් පසු ජීඑස්පී ප්ලස් බදු සහනය ලංකාව හිමි වී ඇති අතර ඒ යටතේ යුරෝපා සංගමයට අයත් රටවල වෙළෙඳපොළට සහන තීරු බදු යටතේ නිෂ්පාදන අපනයන කිරීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට අවස්ථාව හිමිව තිබේ.
කෙසේ වුවද පසුගිය ජුනි 08 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව, මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් ලබා නොගතහොත් ශ්‍රී ලංකාවේ ජීඑස්පී ප්ලස් බදු සහනය ඉවත් කළ යුතු බවට වන යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කර තිබිණි. පසුගියදා ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුල්වී රැඳවියන්ට පිස්තෝල එල්ල කර මරණ තර්ජනය කිරීමේ සිදුවීමද ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස බලපානු ඇති බවට විචාරකයෝ අදහස් පළ කරති.