ජාත්‍යන්තරයට යන්න වුණේ රජය ගැන විශ්වාසයක් නැති නිසයි; ඥානසාර හිමියන්ගේ ප්රකාශය ගැන පරීක්ෂණයක් පවත්වන්න

පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තරයටත් යාමට සිදුවූ බව කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

රට තුළ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කර ගන්න බැරි නම් එතනින් එහාට යාමේ අයිතියක් පුරවැසියන්ට තිබෙන බවද පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ රජය විසින් ආරම්භ කර තිබුණේ නම් තමන් ජාත්‍යන්තරයට යාම වළක්වා ගන්නට තිබූ බවද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළේය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ මේ බව පැවසුවේ කොළඹ අගදරගුරු මැදුරේ දී (16) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

කතෝලික සභාව මේ ගැන වතිකානයට ලිඛිතව දැනුම් දී අනතුරුව මානව හිමිකම් කවුන්සිලයට ද දැනුම්දීමට කටයුතු කළේ රට තුල දී යුක්තිය සහ සාධාරණත්වය ඉටුවේද යන්න ගැන විශ්වාසයක් නොවූ නිසා බව කී සිරිල් ගාමිණී පියතුමෝ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය තිබෙන්නේ ඒ වෙනුවෙන් බවත් එදවසවල පළමුවෙන්ම ජීනිවාවලට ගොස් ජනතාවගේ දුක වේදනාව ගැන කතා කළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව කී සිරිල් ගාමිණී පියතුමෝ සාධාරණයක් ඉටුකරගැනීම වෙනුවෙන් කතෝලික සභාවට ද මෙම පියවර ගැනීමට සිදුවූ බව පැවසූහ.

තමන්ට ජාත්‍යන්තරයට යාමට සිදුවීම පිළිබදව වගකිව යුත්තේ රජය බව කී පියතුමෝ රජය යම් පියවරක් ගන්නා තුරු අවුරුදු දෙකහමාරක් බලා සිටි බවද සඳහන් කළහ.

රටතුළ යලිත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමේ සැළසුමක් ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරික්ෂණයක් පවත්වන්නැයි කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

කතෝලිකයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව තමන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන්ට 2017 වසරේ දී පැවසූ බව ඥාණසාර හිමි ප්‍රකාශ කර ඇතත් එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කළහ.

ඥානසාර හිමියන් කාදිනල්තුමා හට කිසිඳු අවස්ථාවක එවැනි අනතුරු ඇඟවීමක් සිදු කර නොතිබූ බවද පියතුමෝ කීහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *