වත්මන් රජය ජනතා ප්‍රශ්නවලට සංවේදී නොවීම නිසා පාස්කු ප්‍රහාර, කොවිඩ් ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බෑ

වත්මන් රජය ජනතා ප්‍රශ්නවලට සංවේදී නොවීමේ හා විද්වත් මතයට ඇහුම්කන් නොදීමේ සිය ආකල්පය වෙනස් කර නොගතහොත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීමට පමණක් නොව කොවිඩ් වසංගතය ආදී රටේ පවතින සෙසු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ද නොහැකි වනු ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

රජය කොරෝනා ඇතුළු සැම ප්‍රශ්නයකදීම ජනතා වේදනාව සම්බන්ධයෙන් සංවේදී වන්නේ හෝ විද්වතුන්ට ඇහුම්කන් දෙන්නේ නැතැයි කී පියතුමෝ ඔවුන් ඒ ආකාරයෙන් කටයුතු කළහොත් රට අගාධයට යාම වැළැක්විය නොහැකි බව ද සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයට මාස 28ක් සම්පූර්ණ වන 21වැනි දින දිනයේදී කතෝලික සභාව මගින් නිහඬ කළු විරෝධතාවයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ ද රජයේ ආකල්ප වෙනස් කර නිවැරදි මාවතට යොමුකරවීම හා පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුකරවා ගැනීම බව ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කීහ.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේදී 19වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීම හා එය වළක්වාගත හැකිව තිබියදීත් වළක්වා නොගත් නිලධාරීන් හා දේශපාලනඥයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පවතින රජයේ වගකීමක් බව ද පියතුමෝ සඳහන් කළහ.

තමන්ගේ පක්‍ෂයට, බලයට වඩා රට ගැන සිතා කටයුතු කරන වෙනසක් රජය ඇතිකරගත යුතු ද පියතුමෝ කීහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *