පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් සහ ගුවන්විදුලි නාලිකාවක්

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් සහ ගුවන්විදුලි නාලිකාවක්

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් සහ ගුවන්විදුලි නාලිකාවක්

අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමක් අමතමිනි.

ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇති අතර ගුවන්විදුලි නාලිකාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධවද රූපවාහිනී නාලිකා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධව PEO TV ඔස්සේ විකාශන කටයුතු කිරීමටද අපේක්ෂා කෙරේ. මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් එම වැඩසටහන්වල පටිගත කිරීම් 7000කට අධික ප්‍රමාණයක් අවසන් කොට තිබේ. මේ සම්බන්ධව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව රැස්වීමෙන් අනතුරුව වැඩසටහන පෙළගැස්ම සහ අදාළ විකාශන කටයුතු පිළිබඳ අවසන් තීන්දු තීරණ ගෙන එළඹෙන සතියේ සිට විකාශන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළා.

අධ්‍යාපන නාලිකා ආරම්භ කිරීම සදහා අමාත්‍යංශය පසුගිය කාලය තුළ විශාල වැඩකොටසක් නිහඬව සිදුකළ අතර ඒ පිළිබඳ පැහැදිලිකර දීම සඳහා එළඹෙන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය උපයෝගී කර ගන්නා බව පැවසීය. අමාත්‍යංශය මඟින් මෙතෙක් සිදුකළ වැඩසටහන් සහ ඒවායෙහි ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කිරීමේ හැකියාව එදිනට ලැබෙන බව පැවසීය. සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල එන්නත්කරණය කිරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්‍ය නිර්‍දේශවලට යටත්ව පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු බවත් පවතින කොවිඩ් අර්බූදය හමුවේ මේ වන විට එම සැලසුම් ක්‍රියාත්මක කිරීම අනිශ්චිත වන අතර පවතින තත්වය හමුවේ හොඳම විකල්පය මාර්ගගත (Online) අධ්‍යාපනය බවට පත් වී තිබේ. අධ්‍යාපන නාලිකා විකාශනය කිරීම සම්බන්ධ සියලු තීන්දු තීරණ ඉතා ඉක්මනින් ලබා ගත යුතු බවත් දැනට විකාශනය කෙරෙන ගුරු ගෙදර ඊ තක්සලාව ආදී වැසටහන්වලට අමතරවය.

මෙම විස්තෘත වැඩසටහනට අනුව ඒ ඒ ශ්‍රේණි සඳහා වෙන වෙනම රූපවාහිනී නාලිකාව බැගින් ආරම්භ කර අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු සංවිධානය කරමින් පවතී. ආර්ථික අර්බූද, සෞඛ්‍ය අර්බූද මෙන්ම ගුරු වැටුප් විෂමතාව වගේ ගැටලු කොතරම් තිබුණද දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූලිකත්වය ලබාදිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, සීතා අරඹේපොළ, පියල් නිශාන්ත, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද එක් වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *