ගව ඝාතනය නතර කිරීමට ක්‍රියා කරන ලෙස, සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දීමක්

ගව ඝාතනය නතර කිරීමට ක්‍රියා කරන ලෙස, සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දීමක්

ගව ඝාතනය නතර කිරීමට ක්‍රියා කරන ලෙස පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය, සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දී තිබේ.
අමාත්‍යාංශ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා පැවසුවේ රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණය අනුව ක්‍රියා කරන ලෙස පළාත් පාලන බලධාරින් දැනුවත් කළ බවය. මේ සඳහා අවශ්‍ය පනත් 04ක් සංශෝධනය කිරීමට දැනට පියවර ගෙන ඇති අතර ඒවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ගව ඝාතනය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ගව ඝාතනය තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර ගත් තීරණය පිළිබඳව සියලුම පලාත් පාලන ආයතන දැනුවත් කර තිබුණ ද එම තීරණය ක්‍රියාත්මක නොවූ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

එබැවින් අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව කටයුතු කරන ලෙසත්, වෙනත් තීරණයක් ගැනීමෙන් වළකින ලෙසත් පළාත් පාලන ආයතනවලට, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය නැවත දැනුම් දීමක් කළ බව බොරලැස්ස මහතා පැවසුවේය.

මේ අතර කොළඹ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් ප්‍රකාරව කටයුතු කරන ලෙස කොළඹ මහ නගර සභාවේ නාගරික පශු වෛද්‍යවරයාට දැනුම් දුන් බවය.

– නිව්ස්ෆස්ට්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *