අත්අඩංගුවට ගත් ”එක්ස්ප‍්‍රස් පර්ල්” කපිතාන් ලක්‍ෂ 20ක පුද්ගලික ඇප මත මුදාහරී

අත්අඩංගුවට ගත් ”එක්ස්ප‍්‍රස් පර්ල්” කපිතාන් ලක්‍ෂ 20ක පුද්ගලික ඇප මත මුදාහරී

අත්අඩංගුවට ගත් ”එක්ස්ප‍්‍රස් පර්ල්” කපිතාන් ලක්‍ෂ 20ක පුද්ගලික ඇප මත මුදාහරී

(14දා) දහවල් අත්අඩංගුවට ගත් “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ නැව්පතිවරයා (Captain) රුපියල් විසි ලක්‍ෂයක (මිලියන 02ක) සහතික ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය පියවර ගත්තේය.

ඊයේ පස්වරු 1.30ට පමණ වැල්ලවත්ත සෆායර් හෝටලයේ ලැගුම්ගෙන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු පස්වරු 2.40ට පමණ කොළඹ අලුත්කඩේ මහාධිකරණ අංක 01 වෙත රැගෙන ආ අතර ඔහු මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් කියා සිටියේ, කොතරම් අති විශාල මුදලක් වන්දි වශයෙන් අයකර ගැනීමෙන් වුවද කෙසේවත් පිරිමැසිය නොහැකි තරමේ බරපතළ හානියක් හා විනාශකාරී තත්ත්වයක් ශ්‍රී ලංකාවටත් එහි ජනතාවටත් මෙම නැව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් සිදුවී ඇති බවත් එය වසර සිය ගණනකින්වත් යථා තත්ත්වයට පත්කර ගත නොහැකි වන තරමේ ඛේදවාචකයක් බවත්ය.

තවද රටේ ආර්ථිකයට බරපතළ බලපෑමක් උද්ගත කරමින් රට වටා පිහිටි මුහුදු තීරයේ පුත්තලමේ සිට මාතර දක්වා වූ සම්පූර්ණ සමුද්‍ර පරිශ්‍රයම දූෂිතවීමත්, එමඟින් මත්ස්‍ය සම්පත සහමුලින්ම විනාශයට පත්වීමත් සමඟම සිදුවූ හා තවදුරටත් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතීමට ඉඩ ඇති පරිසර විනාශයට අමතරව එමඟින් සමුද්‍රය ආශි්‍රතව ජීවනෝපාය සකසාගත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට සිය එදාවේල සපායා ගැනීමටත් නොහැකි දුක්ඛදායක තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුව ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් තවදුරටත් සිදුවන හා සිදුව ඇති හානිය ගණනය කිරීමට තරම් නොහැකි වන අතර එමඟින් අන්ත අසරණ වන ධීවර ප්‍රජාව මෙන්ම ඒ ආශි්‍රතව යැපුණු ධීවර වෙළෙඳ ප්‍රජාවට සිදුව ඇති හානියද සුළුපටු නොවන තරම්ය.

එමෙන්ම කොළඹ ප්‍රධාන වරායට ඇතුළුවීමට පැමිණෙන නෞකාවන්ට එහි ඇතුළුවීමට නොහැකිවීම හේතුවෙන් එකී නැව්වලට ඩොලර් මිලියන ගණන්වලින් වන්දි ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවීමෙන්ද තවත් සුවිශාල මුදල් සම්භාරයක් වැය කිරීමට සිදුව ඇත.

මේ සියලු තත්ත්වයන් මත නෞකා සමාගම එහි වගකීම භාරගෙන කටයුතු කිරීමට අන්‍යන්තයෙන්ම බැඳී සිටින බැවින් අධිකරණයේ මැදිහත්වීමෙන් එම කටයුතු කඩිනමින් ඉටුකර ගැනීමේ අපේක්‍ෂාවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පරීක්‍ෂණ කණ්ඩායම් විසින් මෙම නැව්පතිවරයා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලැබූ බව ඔහු කියා සිටියේය.

අනතුරුව නැව්පතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ (හිටපු සොලිසිටර් ජනරාල්) සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ රුසියානු ජාතිකයකු වන තම සේවාදායකයා කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාවට හානියක් හෝ පාඩුවක් සිදු කිරීමේ අරමුණකින් මෙම අනතුරට පත් නෞකාව මෙම මුහුදු තීරයට රැගෙන පැමිණ නැති බවත්, සමාගමේ උපදෙස් මත පැවැති කුණාටු සහිත කාලගුණික තත්ත්වය මැද මැලේසියාවට නොගොස් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ ඇති බවත්ය.

එබැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීමද නීති විරෝධී බවත් ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගතහොත් එය බරපතළ වරදක් බවත්ය.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ තමා සැකකාර නැව්පතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවය.

එහිදී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඒ සම්බන්ධයෙන් තමා බෙහෙවින්ම ස්තූතිවන්ත වන බවත් තම ගෞරවය ඒ වෙනුවෙන් නීතිපතිවරයාට පුද කරන බවත් කියා සිටියේය.

සියලු කරුණු විමසුමෙන් අනතුරුව විනිසුරුවරයා සැකකරු රුපියල් මිලියන 02ක සහතික බැඳුම්කරයක් මත ඇප මත මුදාහරින බවත්, නඩුව අවසන් වනතුරු රටින් පිටවීම තහනම් කරන බවත්, පවසමින් තම විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසටද නියම කළේය.

ඒ අනුව සැකකාර නැව්පතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදුන් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට හෝ සැකකාර තම සේවාදායකයා ඉදිරිපත් කිරීමට තමා වගකීම භාරගන්නා බව ප්‍රකාශ කර සිටියේය.

මෙම නඩුව යළි ජූලි මස 01 වැනි දින කැඳවීමටද දින නියම කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *